අපේ රටද? අපේ ගමද?

මේ රට අපේ රට යයි කියා අපි හැමෝටම කැක්කුමක් ඇත. අපේ රටට කවුරුන් හෝ අවනම්බුවක් කරන විට අපට රිදෙන්නේ ඒ නිසාය. ක්‍රිකට්  තරඟයක් ජයග්‍රහණය කරන විටද අපට දැඩි සතුටක් දැනෙන්නේ තරඟය ජයග්‍රහණය කළාටත් වඩා ඉන් අපේ රටට ලැබෙන ගෞරවය නිසාය. මේ රට අපේ රට නිසා අපේ රටට හරියනවට අපි හැමෝම කැමතිය.

නමුත් සැබවින්ම මේ අපේ රටද යන්න අපි තරමක් ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ රට අපේ රට නම් රටේ සංස්කෘතිය, රටේ ප්‍රතිරූපය කෙසේද යන්න තීරණය කිරීමට හැකියාවක් අපට තිබිය යුතුය. නමුත් සැබවින්ම මේ රටේ ප්‍රතිරූපය හෝ සංස්කෘතිය තීරණය කිරීමට අපට අබමල් රේණුවක තරම්වත් හැකියාවක් නැත.මන්ද ඒ සියල්ල තීරණය කරන්නේ රට කරවන දේශපාලන අධිකාරිය විසින් නිසාය. අපි සැබවින්ම කරන්නේ රට යන අතට යන එක පමණි.

රටක ලක්ෂණ කෙබඳුද යන්න සම්පූරණයෙන්ම රට කරවන පුද්ගලයා මත හෝ ඒ වටා රොක් වූ කල්ලිය මත තීරණය වෙයි. 1948 ට පෙර අපේ රට කරවුයේ සුද්දන්ය. එකල ලංකාවේ ප්‍රතිරූපය වූයේ බටහිරට සංස්කෘතියට ලැදි “Ceylon” ලෙසය. එදා සිංහල කම ලජ්ජාවට කාරණයක් විය. නිදහස ලැබීමෙන් පසු සුද්දන් සමග එකට වයින් බිවු කලිසම් කෝට් හැඳි D .S  සේනානායක මහතා ලංකාවේ නායකයා විය. එකල අපේ රට බටහිර – ලාංකීය ගන්ධබ්බ සංස්කෘතික ස්වරූපයක් ගැනිණි. ඒ ක්‍රමය හරියන්නේ නැති බව වැටහුණු බණ්ඩාරනායක මහතා සරම බැනියම හැඳ අමු සුද්ද සිංහල ලංකාවක් බිහි කළේය.තව ටික කලකින් සිරිමාවෝ මැතිණියට වුවමනා වූ නිසා සමාජවාදී ලංකාවක් බිහි විය. J .R  ජයවර්ධන මහතාට නැවත ලංකාව පුංචි අමෙරිකාවක් කරන්නට වුවමනා විය. රෝහණ විජේවීර ලංකාවේ සෝවියට් දේශයක් බිහි කරන්නට ගොස් මැරුම් කෑවේය. ප්‍රේමදාස මහතා ඉන්දියාව තරහ කරගෙන කොටියා මිතුරා කර ගත්තේය. චන්ද්‍රිකා මැතිණිය යටතේ ලංකාවේ ප්‍රතිරූපය ගමේ භාෂාවෙන්ම කියනවා නම් “මෙලෝම රහක්” නැති විය.මහින්ද රාජපක්ෂ මහතා යටතේ යුධ විජයග්‍රාහී ජාතිවාදී ලංකාවක් බිහිවී එය චීනයේ සුරතලා විය. වර්තාමාන ජනාධිපතිතුමා රටට වෙන්නේ මොනවාද කියා දැන ගන්නේ ඒවා පත්තරේ පල වූ විටය. ඊට හේතුව ඇත්තටම රට කරවන්නේ රටේ දෙවනියා වන අගමැතිවරයා විසින් වීමය. වර්තාමන අගමැතිවරයා සිටින්නේ ඊළඟට යන්නේ ඇමරිකාවටද චීනයටද යන්න සිතා ගන්න බැරි තත්ත්වයකය.

මේ අනුව හොඳින් කල්පනා කර බැලූ විට ඉතිහාසයේ හා වර්තාමනයේදී අපේ රටේ සංස්කෘතිය, ප්‍රතිරූපය කෙබඳුද යන්න තීරණය කර ඇත්තේ රට පාලනය කල අයගේ සිතුවිලි අනුව මිස ජනතාව වන අපගේ කැමැත්ත අනුව නොවේය. මෙය ලංකාවට පමණක් උරුම වූ ඛේදවාචකයක් නොවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව ඔබාමා යටතේ තිබු ඇමෙරිකාවට වඩා වෙනස් වී ඇත. බොරිස් යෙල්ට්සින්ගේ රුසියාව පූටින් යටතේ කනපිට හැරවිණි. උතුරු කොරියාවේ කිම් ජොන් උන් ජීවත්ව සිටින තුරු අපට උතුරු කොරියාව පෙනෙනු ඇත්තේ විනෝදයට න්‍යෂ්ටික බෝම්බ සාදන හිතුවක්කාර පිස්සන් රැලක් ලෙසය. මේ අනුව බැලු කල ලොව සෑම රටක්ම එහි ප්‍රතිරූපය ගොඩනගා ගෙන ඇත්තේ එම රට පාලනය කරන ප්‍රධාන මොළ ගෙඩියේ ස්වභාවය අනුව මිස එම රටේ ජනතාව කැමති විදියට නෙවේය. “අපට පාලනය කල නොහැකි කිසිම දෙයක් අපේ විය නොහැකිය”…

කාලෙන් කාලෙට මේ අයුරින් රට වෙනස් වුවාට ගමේ සංස්කෘතිය වෙනස් වෙන්නේ නැත. මාතර මගේ ගමය. මාතර මගේ ගමේ මට දැනෙන අමුතු සුවඳක් ඇත. කොළඹ සිට අධිවේගී මාර්ගයේ මාතරට එනවිට ගොඩගමට එන විටම මගේ රස නහර පිනා යන්නේ ඒ මාතර සුවඳින්ය. පාර්ලිමේන්තුව, පළාත්සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව කවුරුන් කරවුවත් ගමේ සුවඳ වෙනස් කිරීමට ඒ කාගෙන්වත් දැනෙන හානියක් සිදුවන්නේ නැත. භෞතික සාධක වෙනස් වුවද ගමේ සංකෘතිය, ගමේ පන්සල, ගමේ පල්ලිය, ගමේ පාසල, ගමේ සිරිත් විරිත්, ගමේ සම්ප්‍රදාය යන මේ සියල්ලම වෙනස් වන්නේ ගමේ අපි වෙනස් වුවහොත් පමණි. ගමේ සෑම තැනකම අපටම ආවේනික වූ මතකයන් රැඳී ඇත. “මේ නිසා ගම වෙනස් කිරීමේ හෝ රක ගැනීමේ බලය හිමිවී තිබෙන්නේ ගමේ අපටය.  එනම් රට අපේ නොවුනාට ගම අපේය”.

බොහෝ දෙනා සිතන්නේ ගම රටේ කොටසක් නිසා ගම රැකෙන්නේ රට රැකුනොත් කියාය. නමුත් රටට හෙට වෙන දේ අපි කවුරුවත් දන්නේ නැත. මන්ද, රටේ හෙට දවස තීරණය වන්නේ රට කරවන අයගේ ඔළුගෙඩි වලට එන සිතුවිලි වලය අනුවය. මේ නිසා අපි කල යුත්තේ ඕනෑම කෙනෙකුට රට කරගන්නට දී අපේ ගම අපිට පුළුවන් විදියට රැක ගැනීමය. හැම ගමක්ම සෑදෙන විට රට නිකම්ම හදෙනු ඇත. ස්විස්ටර්ලන්තය, නොර්වේ, ඔස්ට්‍රේලියාව , ඊශ්‍රායලය, වැනි රටවල නායකයා වෙනස් වූ පමණින් රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන්නේ මෙම ක්‍රමය නිසාය.

ඇතැම් අයට රට දාලා යන්න හිතුනත් සැබවින්ම රට දාලා යන්න අමාරු “රට දාලා ගියත් ගම දාලා යන්න තියන බැරිකම නිසාය”.

රට උන්ගේය… ගම අපේය…….

Editorial: Matara Today 2017 January – March

Nirman Kodithuwakku

“මාතර ගැට්ට”

matara-today-cover-2016-sepසතා සිවුපාවා ඇතුළු සෑම දෙනාම ලෝකේ කොහේ හිටියත් එක වර්ගයේ උන් එකට වාසය කිරීම සිරිතය. මිනිසුන් තුලද මේ සිරිත ඒ ආකාරයෙන්ම දැකිය හැකිය. ජාතිය, ආගම, කුලය සහ ගම ආදී විවිධ කාරණා පදනම් කරගෙන ලංකාවේ පමණක් නොව ලෝකේ කොහේ ගියත් තමන්ගේ අය සමග එකට වාසය කිරීමට අපිද කැමතිය.

විශ්ව විද්යාලයේදීද මේ ආකාරයට එක වර්ගයේ අය එකට කල්ලි ගැසෙති. මෙය විශ්ව විද්‍යාල භාෂාවෙන් හැදින්වෙන්නේ “ගැට්ට” යන වචනයෙනි. දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් තම පළාත, නගරය, පාසල, ආගම සහ ජාතිය ආදී කාරණා පදනම් කරගෙන “ගැට්ට ගැසීම” සිදු කරති.

විශ්ව විද්‍යාලයේ කුමන ගැටී තිබුනද මා අධ්‍යාපනය ලැබූ මොරටුව සරසවියේ ප්‍රසිද්ධතම ගැට්ට වූයේ “මාතර ගට්ටයි”. විශ්ව විද්‍යාලයට තේරී පත් වී එතුලට යාමටත් පෙර සිටම අපව “මාතර ගැට්ටේ” සාමාජිකයන් ලෙස බඳවා ගැනිණි. එදා “මාතර ගැට්ට” සැම විටම රැස් වූයේ මාතර බ්‍රවුන්ස්හිල් වෙරළේදීය. මාතර ගැට්ටේ නව සාමාජිකයන් එකිනෙකා හඳුනාගැනීමත් ගැට්ටේ කටයුතු කළමනාකරණය කිරීමට කණ්ඩායම් නායකයෙකු පත් කර ගැනීමත් මෙහිදී සිදුවිය. නොදන්නා කොළඹට පා තබන අපි එකිනෙකාට උදව් කරගත යුතු බව මෙහිදී අපට දැඩිව අවධාරණය කළේය.

ඉරිදා සවස මාතරින් කොළඹ බලා යන දුම්රියේ අවසාන මැදිරි එදා නිල නොවන වශයෙන් වෙන් වී තිබුනේ “මාතර ගැට්ටේ” අපටය. කොළඹ විවිධ විශ්ව විද්‍යාල වල සියළු ශිෂ්‍යයන් මෙම මැදිරියේ ගමන් කල අතර වැරදීමකින් හෝ මෙම මැදිරියට ගොඩ වෙන බාහිර පුද්ගලයන් ඉතා සුළු මොහොතකින් මුවින් නොබැන ඉන් බැස වෙනත් මැදිරියකට ගොඩ වන්නේ “මාතර ගැට්ටේ” කාල ගෝට්ටිය සහ විකාර බලා සිටිනු බැරි තැනය.
මෙම දුම්රිය ගමනේදී නවක සිසුන්ට “වාත කිරීම” සිදු කෙරිණි. මෙහිදී සිදු වන්නේ නවක සිසුන්ගෙන් තේරුමක් නැති විවිධ විකාර ප්‍රශ්න අසමින් ජ්‍යෙෂ්ඨ සිසුන් සැබවින්ම වාතයක් බවට පත් වීමයි. නමුත් මෙමගින් මාතර ගැට්ටේ නවක සිසුන් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් සමග දැඩි බැඳීමක් සහ සුහදතාවයක් ඇති විය.එදා මට වාත කල මාතර ජ්‍යෙෂ්ඨ සිසුන් අදටත් මාගේ ගජ මිතුරන්ය. මීට අමතරව ලජ්ජාශීලී නවකයන්ගේ ලජ්ජා බය අඩු කර කොළඹට උචිත ලෙස හැඩ ගැන්වීමද මෙම වාත කිරීමේදී සිදුවිය. ජීවිතේට ගැහැණු ළමයෙක් දිහා කෙලින් බලා නොතිබුණු මට මාතර සිට කොළඹ යන තෙක්ම ගැහැණු ළමයින් දෙදෙනෙකු මැද වාඩි වී යන්නට වාසනාව පෑදුනේද මෙම වාත කිරීමේ ප්‍රතිපලයක් ලෙසය.

අනෙක් දිස්ත්‍රික්ක වල අයද විවිධ “ගැටී” සාදාගෙන තිබුනත් ඒවා අතරින් කැපී පෙනෙන ගැටී වූයේ කොළඹ ගැට්ට, නුවර ගැට්ට, කුරුණෑගල ගැට්ට, ගාල්ල ගැට්ට සහ ගම්පහ ගැට්ට පමණි. අනෙක් දිස්ත්‍රික්ක වල අයට ගැට්ටක් සැදීමට ප්‍රමාණවත් ගනපූරණයක් නොමැති වූ හෙයින් ඔවුන් තමන්ට ආසන්නතම ප්‍රභල ගැට්ටට හේත්තු විය. හම්බන්තොට ගැට්ටට නිතරගයෙන්ම මාතර ගැට්ටේ සාමාජිකත්වය හිමිවී තිබුනේ මේ නිසාය.
විශ්ව විද්‍යාලය තුල මාතර ගැට්ට ප්‍රබල චරිතයක් මෙහෙයවීය. ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා පත් කිරීමේදී ඒ සඳහා වැඩි ඡන්ද බලයක් හිමිවී තිබුනේ කොළඹ ගැට්ටටය. නමුත් ප්‍රබල මාතර ගැට්ට තරහ කරගෙන නායකයෙකු තේරීම ප්‍රයෝගික නොවන බව ඔවුන් දැන සිටියේය. මේ නිසා කොළඹ පාසලකින් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ නමුත් මාතර ඉපිදී මාතරම මූලික අධ්‍යාපනය හැදෑරු ශිෂ්‍යයෙක් සෑමවිටම කණ්ඩායම් නායකයා ලෙස පත් විය. කොළඹ ගැට්ටේ උනත් ඌ මාතර අපේ එකා යන හැගීම මේ නිසා මාතර ගැට්ටේ අප තුල විය.

විශ්ව විද්‍යාලයේ සෑම පොදු වැඩකදීම “මාතර ගැට්ට” ඉදිරියෙන්ම සිටියේය. කොළඹ අය බටහිර පන්නයට ලැදි විවිධ සෝබන ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමය සම්පූරණයෙන්ම පාලනය කලේ “මාතර ගැට්ට” විසිනි. පිං අතේ වැඩක් කලත්, වලියක් ගියත් කොතනත් ඉදිරියෙන්ම සිටියේ “මාතර ගට්ටය”. අනිත් ගැටි වල අය තමන්ගේ ගැට්ටේ සාමාජිකයන්ට පමණක් උදව් කරද්දී මාතර ගැට්ට පමණක් කිසිදු භේදයකින් තොරව තිබූ දෑ බෙදා හදා ගත්තේ ඒ මාතර අපේ හැටි නිසාය.

අදට හරියටම වසර 06 ක් සම්පුර්ණ වන “මාතර Today” සඟරාව බිහිවූයේද ඇතැම් විට එදා “මාතර ගැට්ටෙන්” මට දැනුණු මාතර අපේ කමේ ප්‍රතිපලයක් ලෙස විය හැකිය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 September – December

“Jon Snow” is not a “Stark” but “Targaryen”, the true heir to the Iron Throne.

You know nothing Jon Snow… 🙂

This is just a logic after reviewing the last seasons of the story.

In the flashses of Bran Stark, he saw young Ned Stark rescued his sister “Lyanna” from a fortress but she died after giving a birth to a son. Her final words to Ned was “Promised me Ned”

Young Lyanna Stark
Young Lyanna Stark

Lyanna was married to Robert Baratheon. But Rhaegar Targaryen (the eldest son of mad King – eldest brother of Daenerys Targaryen) kidnapped the beautiful Lyanna and raped her and imprisoned her in a fortress. This led Robert Baratheon wages war against Mad King and in the battle Robert Baratheon killed Rhaegar Targaryen. Later Jamie Lannister killed Mad King and Robert became the king and married Cersie.

That son which Lyanna gave to birth must be the son of “Rhaegar Targaryen” which was a result of the rape. That’s why Lyanna asked Ned Stark not to tell Robert about the child. If Robert knew that the father of the child of his beloved wife is Rhaegar Targaryen, he would kill the child.

Rhaegar Targaryen
Rhaegar Targaryen

So Ned Stark took the baby to the north and told Catalyn that the child was his bastard son and named him Jon Snow.

If Jon Snows parents are Lyanna Stark and Rhaegar Targaryen, he is half Stark and half  Targaryen. Jon is the only son of Prince Rhaegar Targaryen who were to be the king after Mad king. So he is the true heir to the Iron throne. Daenerys Targaryen is his aunt (Even though they both are young).

Jon Snow is half dragon blood. That’s why he is hard to kill and came alive even after the death. That’s why white walkers fear him. That’s why Red Woman chose Jon Snow as her master.

 

ජීවිතය විඳින්න..

sinhalapedia nirmanඅපි අපේ ජීවිතය හරි හැටි විඳිනවද? එම ප්‍රශ්ණය මට හරිහැටි තේරුම් ගියේ වරක් මා හමුවූ විදේශිකයෙකු මා සමඟ පැවසූ අදහස් නිසයි. ශ්‍රී ලංකාවේ මිනිසුන් කොයි වගේ දැයි ඔහුගෙන් විමසුව විට ඔහු මා වෙත ලබා දුන්නේ මා බලාපොරොත්තු නොවූ පිළිතුරක්.

“මට මේ රටේ මිනිස්සු ගැන හරි දුකයි. ඒගොල්ලන්ගේ ජීවිත වල සතුටක් පේන්න නැහැ. හැමෝම මොකක් හරි ප්‍රශ්ණයක් නිසා දුක්වෙනවා. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ ඔහේ ජීවත් වෙන්නම් වාලේ. හැබැයි, අපේ රටේ තත්වය මීට ගොඩක් වෙනස්. අපේ මිනිස්සුන්ට සල්ලි තියෙන අය නැති අය කියල භේදයක් නැහැ. හැමෝම පුළුවන් තරම් සතුටින් ඉන්නවා. ප්‍රශ්න ගැන හිත හිත ඉන්නේ නැතුව මොන වැඩේ තිබුනත්. මේ වගේ ලස්සන රටක ජීවත් වෙලත් මට හරි පුදුමයි ඇයි මේ රටේ මිනිස්සුන්ට ටිකක් සතුටින් ජීවත් වෙන්න බැරි කියලා.”

ඔහුගේ මෙම ප්‍රකාශය ගැන මම කල්පනා කළේ මම හොඳට දන්න පවුල් කිහිපයක් උදාහරණ ලෙස ගෙන හිතලා. ඇත්තටම අපේ රටේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවද? රස්සාවක් කරලා හම්බ කරලා තමාට නඩත්තු කළ නොහැකි ලොකු ගෙයක් හදන්න බැංකු වලට ණය වෙලා, සමාජයේ අනිත් අය සමඟ පෑහෙන්න ලොකු වාහනයක් ගන්නත් ණය වෙලා, අප රටේ බහුතරයක් ජීවිත ගැටගහ ගන්න කොතරම් දුක් විඳිනවද? දරුවෙක් උපන් දවසෙ ඉඳලම හොඳම පාසලකට දාගන්න, ඊට පසුව ශිෂ්‍යත්වය, O/L, A/L විභාගය හොඳටම Pass කරවල දරුවව දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරවන්න අම්මලා තාත්තලා තමන්ගේ ජීවිත සමඟ පමණක් නෙමෙයි, තම ළමයින්ගේ ජීවිත සමඟත් කොතරම් සෙල්ලම් කරනවාද? ජීවිතය කියන්නේ ලොකු රස්සාවක් කරලා හොඳට හම්බ කරලා කසාද බැඳලා ළමයි ලොකු මහත් කරලා ඒ ළමයින්ද ජීවිතයේ තමන් ගිය මාර්ගයේම යැවීම නෙමෙයි – තමා සහ තමා ආදරය කරන අය සමඟ තම තමන් සතුටු වන දේ කරල ජීවත් වන සෑම තත්පරයක්ම සතුටින් ජීවත්වීම කියන එක තේරුම් අරන් ඉන්නේ කීයෙන් කීදෙනාද?

මේ කෙටි ජීවිත කාලය තුල අපිට අපි ආස දේවල් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කොතරම් කුඩා කාලයක්ද? කියවන්න, ගී ගයන්න, නටන්න, ඇවිදින්න, ගහ කොළ යටට වී සොභාදහම සමඟ තනි වෙන්න වෙලාවක් නැති ජීවිත හරියට තම ඇස් මනා පිට ඇති ක්ෂේම භූමි නොදැක නොසංසිදෙන පිපාසයකින් කාන්තරයේ ඉබාගාතේ යන ඔටුවන් වාගේ නොවේද?

සමාජයට පේන්න බොරු ජීවිත ගෙවනවා වෙනුවට තමාට ඕන විදියට නිදහසේ නිරෝගීව සැහැල්ලුවෙන් ජීවතය විඳින්න. ජීවිතය සැබවින්ම ජීවත් වන්න.

Editorial: Nirman Kodithuwakku – “Yathraa” Magazine 2016 Jan – Jun

අමතක වූ අලුත් අවුරුද්දේ සැබෑ අරුත..

nirman matara sinhalapediaඅලුත් අවුරුදු පාසල් නිවාඩුව යනු මා කුඩා කල මාගේ ජීවිතේ ප්‍රියතම කාල සීමාවයි. අලුත් අවුරුදු නිවාඩුවේදී ගහ කොළ පළතුරු වලින් බරවී ඇත. විවිධ කෑම බීම රසකැවිලි ඕනෑතරම්ය. අවුරුදු දිනය ක්‍රමයෙන් ලංවන බව වැටහෙන්නේ දසතින් නැගෙන රතිඤ්ඤා හඬ ක්‍රමයෙන් වැඩිවන විටය.

අලුත් අවුරුදු සමයේදී මට සියළු දෑ දිස්වූයේ නැවුම් ප්‍රබෝධමත් අයුරිනි. ගහකොළ සතා සිව්පාවා පමණක් නොව හමන සුළඟේ, වැටෙනා හිරු එළියේ ද මට දැනුනේ ඉන් විහිදෙන අලුත් අවුරුදු ප්‍රබෝධයයි. අවුරුද්දේ වෙන දිනවලට වඩා අලුත් අවුරුදු සමයේ මා තුල පමණක් නොව, මුළු පරිසරයේම පුදුමාකාර නැවුම්, ආලෝකමත්, ප්‍රබෝධමත් ගතියක් මට දැනිනි. මා ජීවත් වූයේ මාතර නගරයේ වුවද අවුරුදු සමයට නගරයද ගැමි සුවඳින් ආලෝකමත් විය.

ඉන් දශක දෙකක් පමණ ගෙවුනු අද සිටින කුඩා දරුවන් අපි කුඩා කල අත්විඳි ඒ අවුරුදු සිරිය ඒ අයුරින්ම අත්විඳිනවාද යන්න විශාල ප්‍රශ්නාර්ථයකි. එකල විශේෂ සැමරීමකට ලක් නොවුනු ජනවාරි 01 දින හෙවත් බටහිර අවුරුද්ද සැමරීමට අද වනවිට ලාංකීය සමාජය තුල ද ක්‍රමයෙන් ප්‍රධාන තැනක් ලැබෙමින් පවතී. මේ නිසාම අද බොහෝ සිංහලයන්ට සිංහල අලුත් අවුරුද්ද වසරේ තවත් එක් දිනයක් බවට පත්වී ඇත.

මුදල් පසු පස හඹා යන තරඟකාරී සමාජය නිසා බොහෝ දෙමවුපියන්ටද තම නිවෙස් අස්පස් කර සෝදා සිංහල අවුරුද්ද සැමරීමට සූදානම් වීමට තරම් වේලාවක් හෝ වුවමනාවක් නැත. අද එදා මෙන් රතිඤ්ඤා හඬ එතරම් නොනැගෙන්නේ කුඩා දරුවන්ටද සෙල්ලම් කිරීමට අලුත් අවුරුද්දටවත් නිවෙසින් එළියට බහින්නට වේලාවක් හෝ වුවමනාවක් නොමැති නිසා විය යුතුය. ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් අතේ තියාගෙන කාමරයට වී මනඃකල්පිත ලෝකයකට කොටුවූ දරුවන්ට අවුරුදු සැමරීම “Happy New Year My Friends” කියා ෆේස්බුක් Status Update කිරීමට හෝ SMS යැවීමට පමණක් සීමා වී ඇත.

එදා අපි නිවසින් එළියට බැස අලුත් අවුරුදු ක්‍රීඩා කරන විට වත්මන් දරුවන් ක්‍රීඩා කරන්නේ කාමරයට වී තනියම පරිගණකය හෝ ජංගම දුරකථනය සමඟය. එදා අපි අලුත් අවුරුද්ද අවසන් වී ගමේ ගොස් ගහකොළ පරිසරය සමඟ හිතේ හැටියට විනෝද වුවද අද දරුවන් අලුත් අවුරුද්ද ඉවරවූ සැනින් නිවසින් එළියට බහින්නේ ටියුෂන් පන්ති යාමටය.

අවුරුද්දට සාප්පු සවාරි යාම පමණක් කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩිවී ඇත. මාතර දිස්ත්‍රික්කයේ සහ අවට පළාත් වලින් සාප්පු සවාරි පැමිණි ජනතාවගෙන් මාතර නගරය එකම හිස් ගොඩක් බවට පත් වී ඇත. එක්තරා ප්‍රසිද්ධ සාප්පුවක ඇඳුම් මිලදී ගැනීමට පොරකන සිංහලයන් දුටු මාගේ මුස්ලිම් මිතුරෙක් මට පැවසුවේ “සිංහල මිනිස්සු අවුරුද්දට ඇඳුම් ගන්න පොරකන හැටි දැක්කම අපිට හිතෙන්නෙ, මේ මිනිස්සු පසුගිය අවුරුද්දෙම ඉඳල තියෙන්නෙ ඇඳුම් නැවතිවයි” කියායි. එම කතාවේ නින්දාවක් ගැබ් වූවද එහි කටුක සත්‍යක්ද ඇත.

එදා අපේ දෙමව්පියන්ට අවුරුදු කන්නට මහා පරිමාණයෙන් මුදල් වියදම් වූයේ නැත. පවුලේ හැමෝටම අලුත් ඇඳුමක් අරන් දී අතේ සල්ලි තියෙන හැටියට ගෙදරට බඩුමුට්ටු ගත් අපේ දෙමාපියන් වඩාත් මුල් තැන දුන්නේ ගේ දොර පිරිසිදුව තබාගෙන සතුටින් අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමටය. අද බොහෝ දෙනා ලෝකෙට පේන්න අවුරුදු කන්න ගොස් අවුරුද්දට පා තබන්නේ ලෝකයාට ණය වී දැඩි මානසික පීඩනයකිනි. ලෝකයට ණය වී අලුත් අවුරුද්දක් ආරම්භ කිරීම තරම් කාලකන්නිකමක් තවත් නැත.

අලුත් අවුරුද්දේ සැබෑ අරමුණ පුරා වසරක් මුළුල්ලේ විඩාබර වූ මනස සැහැල්ලු කරගෙන නැවුම්ව සිත සතුටින් නව වසරේ ජීවිතය ආරම්භ කිරීමයි. මාගේ දෙමාපියන් ආදර්ශයෙන් මට කියා දුන් අලුත් අවුරුදු ත්‍යාගය එයයි. එම වටිනා ත්‍යාගය මා කෙදිනක හෝ මාගේ දරුවන්ටද දායද කල යුතුමය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 April – June

මාතරින් එහාට යන්න හදන “රුහුණු කුමාරිය”

nirman matara sinhalapediaපාසල් ගිය අවදියේදී දුම්රිය මාර්ග පිළිබඳ පාඩමේ ලංකාවේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ කෙළවර ලෙස අපට ඉගැන්වූයේ මාතර දුම්රිය පොළයි. එමගින් මාතරට විශේෂ ස්ථානයක් හිමිවී ඇතැයි හැඟුනු නිසා කුඩා මට ඒ පිළිබඳව තිබුණේ අහිංසක ආඩම්බරයකි. කතරගමට කෝච්චිපාර දික්කරන්න සැලසුම් කරල තිබුණත් ඒක හදාගන්න බැරිවුන දේශපාලන නායකයන් පිළිබඳව මේ නිසා මා තුළ වූයේ අසීමිත ආදරයකි.

කෝච්චි පාරේ කෙළවර මාතර වීම නිසා කෝච්චියේ ගමන් කිරීම කුඩා මට විනෝදයක් විය. කෝච්චිය මාතරට ලංවන විට කෝච්චි පෙට්ටියක ඉතිරි වන්නේ හත් අට දෙනෙක් පමණක් නිසා ගාල්ල පසුවූ පසු අපි ආවේ සීට් වල දිගාවෙලා නිදාගෙනය. කොයි දුර බැහැරක සිට කෝච්චියේ මාතර ආවත් අනිත් ගම්වල අයට වගේ මාතර අපිට කෝච්චියෙන් බහින්න හදිසියක් තිබුණේ නැත. වෙන ස්ටේසම් වල බහින අයට කෝච්චියෙන් බැහැගන්න තිබුණේ විනාඩි දෙක තුනක් වුනාට මාතර අපිට නිදාගෙන ආවත් කෝච්චියෙන් බහින එක ගැන බියක් නොතිබුණේ මාතරින් එහාට ජීවිතේට කෝච්චියක් නොගියපු නිසාය. මේ නිසා වයසක ආච්චිලා, සීයලාට වුනත් හිතේ හැටි පරිස්සමින් කෝච්චියෙන් බැහැගන්න මාතරදී ඕන තරම් වේලාව තිබිණි.

මාතර දුම්රිය මාර්ගයේ කෙළවර වීම නිසා සෑම දුර ගමන් දුම්රියක්ම වාගේ ආරම්භ වූයේද මාතරිනි. වෙන නගරවල අය කෝච්චියේ එනකොට පොරකලා කෝච්චියට ගොඩවෙලා සීට් අල්ලගන්න දැඟලුවත් මාතර අපිට නම් ඒවාගේ ප්‍රශ්න තිබුණේ නැත. කෝච්චිය යන්න පැය භාගයකට විතර කලින් මාතර ස්ටේසමට ගිහින් කැමති සීට් එකක් හිතේ හැටියට තෝර ගන්න මාතර අපිට ඕනෑම තරම් වේලාව තිබිණි. අපි සැපට කෝච්චියේ වාඩි වෙලා යනකොට අනිත් ගම්වල උදවිය කෝච්චියට නගින්න පොරකන එක බලාගෙන ඉඳීම අනුකම්පාවක් මෙන්ම විනෝදයක්ද ගැබ් වූ අත්දැකීමක් විය. කොළඹ, නුවර, අනුරාධපුර, වවුනියා වැනි ඕන දුරගමනක් ගිය මාතර ඇත්තන්ට ජීවිතේට කෝච්චියේ හිටගෙන යන්න වුනේ නැත්තේ ඒ හැම කෝච්චියක්ම මාතරින් පටන් ගත් නිසාය.

නමුත් දැන් අවසානයේදී මාතර කතරගම දුම්රිය මාර්ගය ලහි ලහියේ ඉදිවෙමින් පවතී. මූලික අදියර යටතේ බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන් තව වසරකින් පමණ ආරම්භ කිරීමට නියමිතය. මාගේ පියාගේ ගම වූ බෙලිඅත්තටත්, හදිසියකට බාර වෙන්න කතරගමටත් කෝච්චියේ යන්න ලැබීම ගැන මට අවංකවම සතුටුය. නමුත් ඉන් පසු වෙරළබඩ දුම්රිය මාර්ගයේ කෙළවර යන නම්බුනාමය මාතරට නොලැබී යාම ගැන මට දුකක් ද ඇත. මාතරින් ආරම්භ වුණු දුරගමන් දුම්රියත් බෙලිඅත්තෙන් හෝ කතරගමින් ගමන් ආරම්භ කළහොත් ඉස්සරහට අපිට මාතරදී කෝච්චියෙන් බහින්නත් කෝච්චියට නගින්නත් පොරකන්නටත් සිදුවනු ඇත. දුම්රිය ගමන් මාතරින් පටන් ගත් සහ අවසන් වුණු සමයේ අපි කුඩා කළ ලැබූ අපූරු විනෝදය අපේ දරුවන්ට අහිමිවනු ඇත.

මට තියෙන ලොකුම බය මාතරට අභිමානයක් මෙන්ම සංකේතයක් බඳුවූ රුහුණු කුමාරියත් මාතරින් ඈතට තල්ලු කරයිදෝ යන සැකයයි. අපි හැමදාම වාඩිවෙලා ගිය රුහුණු කුමාරියේ හිටගෙන යන්න වුණොත් එතරම් නව නිංගිරාවක් අපට නැත.

මොනවා වුනත් රටේ සංවර්ධනය සහ හම්බන්තොට ජනතාවගේ පහසුව සමඟ සැසඳූ විට සිදුවන අපහසුතාවය අමතක කොට අලුත් කෝච්චි පාර ගැන මාතර ඇත්තෝ සතුටු වන බව 100% ක් විශ්වාසය. ඒක අපේ මාතර ගතියය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 Jan – Mar

නූතන බෞද්ධයා සහ බෞද්ධ දර්ශනය

vidarshana nirmanසුප්‍රසිද්ධ, තායිලන්ත හිමි නමක් වන “අජාන් චාන්” ස්වාමීන් වහන්සේ විසින් වරක් බෞද්ධයා හැඳින්වීමට අපූරු උපමාවක් ඉදිරිපත් කර තිබුණා. එම උපමාවට අනුව උන් වහන්සේ බෞද්ධයා උපමා කොට තිබුණේ වී ගොඩක් මත ලැග සිටින සුනඛයෙකුටයි.

වී ගොඩ මත ලැග සිටින සුනඛයාට බඩගිනි දැණුන විට ඌ වී ගොඩ මතින් නැගිට ආහාර සොයා ගෙන ඉබාගාතේ යයි. මෙලෙස ආහාර සොයා ගෙන යාමේදී අසල්වැසි ගෙවල් වලින් විසිකරන ආහාර තම භෝජනය බවට පත් කර ගන්නා සුනඛයාට ඇතැම් විට අනෙකුත් සුනඛයන් සමඟ ආහාර බෙදා ගැනීමට පොර බැදීමටද සිදුවෙයි. ඇතැම් මිනිසුන්ගෙන් මෙලෙස ඉබාගාතේ යන සුනඛයන්ට ලැබෙන්නේ ගල් මුල් ප්‍රහාර පමණයි. මේ කිසිම දෙයක් මායිම් නොකරන සුනඛයා මිනිසුන් විසිකරන ඉඳුල් බත් අනුභව කර තම කුසගිනි නිවුණු පසු නැවත තමා සිටින වී ගොඩ මතට පැමිණ සැපසේ නින්දට යයි. නැවත වරක් කුසගිනි දැණුන විට සුනඛයා සුපුරුදු පරිදිම නැවත ඉබාගාතේ යාම අරඹයි.

ඉහත උපමාවේ පරිදි වී ගොඩක් මත ලැග සිටින සුනඛයෙකුට බෞද්ධයා උපමා කොට ඇත්තේ මන්ද යන්න විමසා බැලිය යුතුයි. බුදු දහම යනු නවීන විද්‍යාවන් පරදවන ලොව පුරා විද්වතුන්ගේ පැසසුමට පත් උතුම්ම ධර්මයයි. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා බෞද්ධයන් වී ඇත්තේ උපතින්ම මිස අවබෝධයෙන් නොවෙයි. මේ නිසා වී ගොඩෙහි ලගින සුනඛයා තමා ලැග සිටින වී ගොඩෙහි ඇති වටිනා කම නොදන්නා සේම ශ්‍රී ලංකීය බෞද්ධයාටද බෞද්ධ ධර්මයෙහි ඇති වටිනාකම සහ තම ජීවිතයට ගත හැකි ප්‍රයෝජන පිළිබඳව නිසි අවබෝධයක් නැත.

සුනඛයාට කුසගිනි දැණුන විට තමා ලැග සිටින වී ගොඩෙහි ඇති වී, සහල් බවට පත් කර අනුභව කළ හැකි බව දන්නේ නැහැ. මේ නිසා කුසගිනි දැණුන සුනඛයා කරන්නේ වී ගොඩ පසෙකලා ඉබාගාතේ ගොස් තමාට පහසුවෙන් ලබාගත හැකි ඉඳුල් වූ ආහාර සොයා අනුභව කිරීමයි. ශ්‍රී ලාංකිය බෞද්ධයාද උතුම් වූ නිර්මල බුදු දහම නිසි පරිදි අවබෝධ කර ගෙන එහි ප්‍රතිලාභ ලබා ගැනීම පසෙකලා සිදු කරන්නනේ අන් ආගම් වල සරණ යාමයි.

ඉන්දියාවේ හින්දු ආගමේ සඳහන් සෑම දෙවි කෙනෙක්ම සිංහල බෞද්ධයාට ඉතාමත් හුරු පුරුදුය. ශ්‍රී ලංකාවේ ජීවත් වන හින්දු ජනගහනය සමඟ සැසඳීමේදී ඉන්දියාවටත් වඩා එම දෙවිවරුන්ට කෝවිල් තනා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ විය යුතුය. එම සෑම කෝවිලකම අපට දැක ගත හැකි වන්නේ දෙවියන්ගෙන් විවිධාකාර ඉල්ලීම් කරමින් පුද පූජා පවත්වන භාර හාර වන ශ්‍රී ලාංකීය බෞද්ධයන්ය.

මුස්ලිම් ආගම් වේවා, හින්දු ආගම් වේවා සතුන් මරා සිදුකරන බිලි පූජා වලටද ඇතැම් සිංහල බෞද්ධයන් සම්බන්ධ වන්නේ ඉතාමත් භක්තියකිනි. දරුඵල ලබා ගැනීමට, විභාග සමත් වීමට සහ ලෙඩ රෝග සුව කරවා ගැනීමටද ශ්‍රී ලාංකීය බෞද්ධයා නිරත යන කතෝලික දේවස්ථාන රට පුරා විහිදී ඇත. තම ජීවිතයේ සෑම විශේෂ ක්‍රියාවක්ම ශ්‍රී ලාංකීය බෞද්ධයා සිදු කරන්නේ තම කේන්දරය අනුවයි. කුමන හෝ ගැටළුවක් පැණ නැඟුනු විට කේන්දරය බලා ගැනීම, ශාස්ත්‍ර-පේන ඇසීම, ගුප්ත විද්‍යාව අනුව ගුරුකම් කර ගත හැකි ප්‍රසිද්ධ ගුරුන්නාන්සේලා සහ කපු මහත්වරු ගමකට දෙතුන් දෙනෙක්ම ඇත. මෑතක සිට සිංහල බෞද්ධයාගේ අලුත්ම විනෝදාංශය වී ඇත්තේ නිවසේ දියුණුව පිණිස රුපියල් දහස් ගණන් වියදම් කොට වාලම්පුරි මිලදී ගැනීමයි. බොහෝ නිවෙස් වලට ගොඩ වන විට බුද්ධ රූපයට පෙර දැකිය හැකි වන්නේ මාරු කාසි ගොඩක් මැඳ සිනා වෙමින් වැඩ සිටින ලාෆින් බුද්ධාය.

සිංහල බෞද්ධයා මෙලෙස අන් ආගම් හා විශ්වාස හමුවේ තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඉබාගාතේ ගියත් බුදු දහම අත් නොහරී. නිවසේ ශබ්ද නගා බණ ඇසීම, නිවසේත්, වාහන වලත් හැම තැනම බුද්ධ රූප තැබීම, පෝයට පන්සල් යාම ඔවුන් අත් නොහරී. නමුත් ගැටළුවකට මුහුණ පාන සෑම විටකදීම සිංහල බෞද්ධයා නැවත පුරුදු පරිදි අන් ආගම් හා විශ්වාස පසුපස ඉබාගාතේ යයි.

සුනඛයාට තමා ලැග සිටින වී ගොඩෙහි ඇති වටිනා කම තේරුම් ගැනීමට නොහැකි වන්නේ සුනඛයා සතු මෝඩ සහ අලස බව නිසයි. සුනඛයා සෑම විටම බලාපොරොත්තු වන්නේ ඌට ඉතා පහසුවෙන් ලැබෙන දේ පිළිබඳව පමණි. වී කොටා, තම්බා, බතක් උයා එමගින් සදහටම කුසගිනි නිවා ගත හැකි බව යමෙකු සුනඛයාට ඉගැන්වීමට උත්සාහ කළත් එය වටහා ගැනීමට තරම් ප්‍රඥාවක් සුනඛයාට නොමැත. එම නිසා සුනඛයා , සුනඛයෙක් ලෙසම ඉපදී ජීවිත කාලය පුරාම දඩාවතේ ගොස් අවසානයේදී සුනඛයෙකු ලෙස මිය යන්නේ ඌ ජීවිත කාලය පුරාම ලැග සිටි ඉතාමත් වටිනා වී ගොඩ මතමයි. වී ගොඩේ නිසි වටිනාකම දැන සිටියා නම් ඌට කෙදිනකවත් ආහාර සොයා ඉබාගාතේ ඇවිදීමට සිදු වන්නේ නැත.

විදර්ශනා සඟරාව හරහා ද අපගේ වෑයම වන්නේ උතුම් වූ සද්ධර්මය නැමති වටිනා මහා නිධානයක් මත අලසව නිදාගෙන සිටින සිංහල බෞද්ධයාට ඔහුට උපතින්ම උරුම වූ ඒ උතුම් වූ සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධ කරදීමයි.

Editorial: Nirman Kodithuwakku – “Vidarshana” Magazine 2015 Aug – Dec

අතින් සල්ලි දීලා පාර මැනපු හැටි.

කැම්පස් එකේ සිවිල් ඉංජිනේරු විද්‍යාවට අපිට තිබුනා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු Survey කෑම්ප් එකක්. සති දෙකක් නේවාසිකව තිබුණු මේ වැඩමුළුව තිබුනේ රාගම Boy’s ටවුන් කියන පල්ලියකට අයිති විශාල වත්තක.

වැඩමුළුව අවසාන දවස් වෙනකොට අව්වේ කර වේවි ඉඩම් මැනලා මැනලාම අපිට හොඳටම එපා වෙලා හිටියේ. අන්තිමටම තිබුනේ රාගම කාපට් දාපු පාරක් මනින්න. පයින් ඇවිද ඇවිද මහා දවාලේ පාර මනිනකොට ඉතින් හොඳ ගණන්. පොඩ්ඩක් විවේක ගැත්තෙත් පාරේ වාඩි වෙලා ලයිට් කණු වලට හේත්තු වෙලා. ඒ වෙනකොට බැච් එකේ හිටපු සුදුම කෙල්ලත් අඟුරු කෑල්ල වගේ කළු වෙලා හිටියේ. ඉතින් අපි ගැන වෙනම කියන්න ඕන නෑනේ..

පාර මනින කොට පාර දෙපැත්තේ ගෙවල් වල උදවිය ඉතින් අපිට හරි ආදරෙයි. මොකද පාර ලොකු කරන්න පාර මනිනවා කියල හිතන නිසා අපිට බටර් ගානවා ඒගොල්ලොන්ගේ ඉඩමෙන් අඩුවෙන් යන විදියට මනින්න කියල. අපිත් ඉතින් ජොලියට කට්ටිය බය කරන්න කියනවා අපි RDA එකෙන් පාර ලොකු කරන්න මනිනවා කියලා. ඒ වගේ පොඩි විහිළුවකින් තමයි ඉතින් අපි මහන්සිය අමතක කලේ.

ඔන්න එක ගෙදරක් ගාව මම පාර මනින උපකරණ හයි කරගෙන මැන මැන ඉන්නකොට ඒ ගෙදර අංකල් ආවා වතුර වීදුරුවකුත් අරගෙන. හොඳටම දාඩිය දාල අව්වේ කරවෙලා හොඳටම එපා වෙලා හිටියේ එතකොට. ස්තුති කරලා වතුර එක බොන අතරේ අංකල් අහනවා “අව්වේ මහන්සි උනාට ඉතින් කමක් නෑනේ ඕවට ඔය ළමයින්ට හොඳට ගෙවනවා ඇතිනේ”  කියලා.

අව්වේ කර වෙලා ආපහු යන්නේ කීයටද කියල බල බල හිටිය මට එක ඇහුවම හිත යටින් හිනා ගියා. අංකල් දිහා බලලා මම එකපාරටම කිව්වා

“නෑ අපි මේ අතින් සල්ලි දීලා ඇඟේ අමාරුවට තමයි අව්වේ කර වෙවී පාර මනින්නේ” කියලා..

අංකල් එකපාරටම මගේ දිහා රවලා බලලා අතේ තිබුණු වීදුරුවත් උදුරාගෙන වේගෙන් ආපහු ගෙට ගිහින් දොර වහ ගත්තා.

අපි මේ Survey ඉගෙන ගන්න ආපු වැඩමුළුවට වියදම් වලට කියල කැම්පස් එකෙන් අපි හැමෝගෙන්ම 2500/- ගානේ එකතු කරා කියලා කියන්න කලින් ඉතින් අංකල් තරහා වෙලා ගියාට ඉතින් මම මොනවා කරන්නද?

සරළ සුන්දර මාතර

nirman matara sinhalapediaදිනක් ගාල්ලේ පැවති විවාහ උත්සවයකට සහභාගී වී නැවත මාතර බලා මා පැමිණියේ මාගේ නිවස ආසන්නයේ අළුතින් පදිංචියට පැමිණි වෛද්‍යවරයෙකු සමඟ ඔහුගේ වාහනයේය. මාතර අපි කා සමඟ හෝ එකට ගමන් කරන විට කට පියාගෙන යාම ඉතාමත් අපහසුය. බසයේ වේවා දුම්රියේ වේවා, ලඟින් වාඩිවී සිටින ඕනෑම නාඳුනන පුද්ගලයෙකු සමඟ ගජ මිතුරන් සේ කතාවට වැටීමට මාතර අපි රුසියෝය. ඒ මාතර අපි එතරම්ම මිත්‍රශීලී නිසායය. මාතරකම නිසාදෝ මමත් සුළු මොහොතකට පසු එදින පළමු වරට මුණගැසුණු නව අසල්වැසියා සමඟ බරටම කතාවට වැටුණේය.

“ඩෙක්ටර්ගෙ ගම මාතරමද?” මම කතාව ආරම්භ කළෙමි.

“නෑ මම ගාල්ලට ටිකක් එහා”

“එහෙනම් පළමුවෙනි පත්වීම හම්බවෙන්න ඇත්තෙ මාතරට”

“නෑ මම කැම්පස් ගියේ කරාපිටියේ, පළමුවෙනි පත්වීමත් ගාල්ලට තමයි ලැබුණේ.”

ගාල්ලේ ඉපදී, ගාල්ලේම විශ්ව විද්‍යාලයේ ගොස්, ගාල්ලේම රැකියාව කළ පුද්ගලයෙක් මාතරට පදිංචියට පැමිණීම මට පුදුමයක් විය.

“එහෙමනම් වයිෆ් මාතර වෙන්න ඇති.” සැකය දුරුකර ගැනීමේ අටියෙන් මම ඇසුවෙමි.

“නෑ වයිෆ්නුත් ගාල්ලෙම තමයි. අපි දෙන්නම වැඩ කළේ ගාල්ලෙ.”

“එහෙනම් මාතර පදිංචියට ආවෙ.” මම ඇසුවේ විශාල විශ්මයාර්ථයක් සහිතවයි. එයට ඔහු ලබා දුන් පිළිතුර ඉතාමත් අපූරු එකකි.

අපි ඉස්කෝලෙ ගියේ ගාල්ලෙ ටවුන් එකට ගොඩක් ඈත. විශ්ව විද්‍යාලයේ යන කාලෙ තමයි කරාපිටියටත්, ගාල්ල නගරයටත් පැමිණියේ. රැකියාව කරන කාලෙ ගෙයක් හදන්න තීරණය කළාම මමයි නෝනයි දෙන්නම සාකච්ඡා කළා ගෙයක් හදලා අපි පදිංචියට යා යුත්තේ කොහාටද කියලා.

“අපි ගාල්ලෙ උනාට කැම්පස් හිටිය කාලෙ අපි දෙන්නටම ගාල්ල එපා වෙලා හිටියෙ. ගාල්ල නගරය කිසි පිළිවෙළක් නෑ. හදිසියකට වැඩක් කරගන්න ඉතාමත් අමාරුයි. කොළඹ ගත්තම ඉතාමත් අධිවේගී සංකීර්ණ නගරයක්. ළමයි හදලා ලොකු මහත් කරන්න කොළඹ තියෙන්නේ හොඳ සංස්කෘතියක් නොවෙයි.”

“අපි අපේ යාළුවන්ගේ ගෙවල් වල යන්න නිතර මාතර ඇවිත් තිබුණා. එහිදී අපිට තේරුම් ගියපු කාරණයක් තමයි මාතර කියන්නේ ඉතාමත් සරළ නමුත් දියුණු නගරයක් කියන එක. දරුවෙක් හදලා ලොකු මහත් කරන්න මාතර තියෙන සරළ සංස්කෘතිය තරම් හොඳ සංස්කෘතියක් ලංකාවෙ කොහේවත් නෑ.”

“මාතර නගරයේ හැමෝගෙම මූලික අරමුණ තමන්ගේ දරුවන්ට ඉගැන්වීම. ඉස්කෝල ගත්තත් ටියුෂන් ගත්තත් ඒ දෙඅංශයෙන්ම මාතර අධ්‍යාපනය අතින් හැම නගරයකටම වඩා දියුණුයි. අනිත් එක මාතර නගරයත් හරි පොඩියි. නමුත් ඒ සරළ නගරය ඇතුළේ අපට අවශ්‍ය සෑම දෙයක්ම වාගේ තියෙනවා. ඒ වගේ පොඩි නගරයක එච්චර පහසුකම් තියෙනවද කියල හිතාගන්නත් අමාරුයි. ඉතිං මමයි නෝනයි දෙන්නම තීරණය කළා අපි අපේ දරුවො වෙනුවෙන් ජීවත් වෙන්න තෝර ගන්න ඕන හොඳම නගරය මාතරයි කියලා.”

ඔහුගේ එම වදන් අසා සිටි මට ඉතාමත් ආඩම්බරයක් හා සතුටක් දැණුනි. මාතර හොඳ මාතර අපිම කියා ගන්නවාට වඩා මාතරට පැමිණි අමුත්තෙකුගේ මුවින් එය අසන්නට ලැබීම පුදුමාකාර ආඩම්බරයකි. ඔහු පැවසූ වදන් සියයට සියයක්ම සත්‍යයි. මාතර කොළඹ තරම් නාගරික නැත. දැවැන්ත ගොඩනැගිලි නැත, නුවර බදුල්ල තරම් දර්ශනීය ස්ථාන, දියඇලි මාතර නැත. මාතර ඇති සුන්දරත්වය නම් මාතර ඇති සරළ බවමය. ගාලු පාර දෙපස විහිදී ගිය කුඩා නගරයක් වුවද අපිට අවශ්‍ය සෑම දෙයක්ම මාතර ඇත. නගරයෙන් මදක් ඔබ්බට ගිය සැනින් ඇත්තේ නාගරීකරණයෙන් තොර ජීවත් වීමට ඉතාමත් සුදුසු ග්‍රාමීය පරිසරයයි.

සරළ මාතර තවත් සුන්දර වී ඇත්තේ එහි ජීවත් වන සරළ සුන්දර මිනිසුන් නිසාය. අදට වසර පහක් සපිරෙන “මාතර Today” සඟරාව පිළිගැන්වෙන්නේද එම සරළ සුන්දර මාතර මිනිස්සුන්ටය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2015 Sep – Dec

බුදු දහමේ ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය චතුස්කෝටික න්‍යාය

buddha-04මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර දේවානම්පිය තිස්ස රජු මුණ ගැසුණු අවස්ථාවේදී පළමුවෙන්ම රජතුමාගෙන් ප්‍රශ්න මාලා දෙකක් විමසා බැලූ බව ඔබ දන්නවා. එම ප්‍රශ්න වලට දේවානම්පියතිස්ස රජු ලබා දුන් පිළිතුරු වලින් සතුටට පත් වූ මිහිඳු මහ රහතන් වහන්සේ, “මහ රජ ඔබ ඥාණවන්තයි” ලෙස ප්‍රකාශ කළ බව පැවසෙනවා. රජු ඇතුළු ලක් වැසියන් බුද්ධ ධර්මය අවබෝධ කර ගැනීමට තරම් ඥාණවන්ත බවට මිහිඳු මහ රහතන් වහන්සේ තීරණය කළේ ඒ අයුරිනුයි..

මිහිඳු මහ රහතන් වහන්සේ බුද්ධ ධර්මය ලක් වැසියන්ට දේශනා කිරීමට පෙර මේ අයුරින් අපගේ බුද්ධි මට්ටම මැන බැලුවේ ඇයි?

මීට හේතුව බුදු දහම “චතුස්කෝටික න්‍යාය” මත පදනම් වූ න්‍යායක් වීමයි. චතුස්කෝටික න්‍යාය මත පදනම් වූ අදහස් තේරුම් ගත හැකිවන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේට සිදු වුණා එවැනි සංකීර්ණ දහමක් අවබෝධ කර ගත හැකි තරම් ලක් වැසියන් ඥාණවන්ත දැයි පළමුව විමසා බලන්න.

චතුස්කෝටික න්‍යාය තේරුම් ගැනීමට පෙර අපි විමසා බලමු ද්විකෝටික න්‍යාය යනු කුමක්ද කියලා.

ද්විකෝටික න්‍යාය යනු කුමක්ද?

මින් අදහස් වන්නේ ඕනෑම ප්‍රශ්නයකට තිබිය හැකි වන්නේ පිළිතුරු 2ක් පමණක් යන්නයි. අපි ඉගෙන ගන්නා භෞතික විද්‍යාවද මෙම න්‍යාය මත පදනම් වී තිබෙනවා. මෙම න්‍යාය අනුව ඕනෑම ප්‍රශ්නයකට තිබිය හැකි පිළිතුරු දෙආකාර වෙනවා. (හරි – වැරදි , ඔව් – නැහැ ,  සත්‍ය – අසත්‍ය, යන ආකාරයේ පිළිතුරු)

පහත ප්‍රකාශ දෙක බලන්න

දැන් වහිනවා                 – A ප්‍රකාශය

දැන් වහින්නෙ නෑ         – B ප්‍රකාශය

ඉහත ප්‍රකාශ දෙකෙන් මෙම මොහොතේ සත්‍ය විය හැකි වන්නේ පහත විසඳුම් දෙකෙන් එකක් පමණි.

එක්කෝ    දැන් වහිනවා

නැතිනම්     දැන් වහින්නේ නෑ

එනම්…      

එක්කෝ..          A ප්‍රකාශය සත්‍යයි     –     B ප්‍රකාශය අසත්‍යයි විය යුතුයි.

නැතිනම්…        A ප්‍රකාශය අසත්‍යයි   –   B ප්‍රකාශය සත්‍යයි විය යුතුයි.

පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මත පදනම් වූ භෞතික විද්‍යාව තීරණ ගන්නේත් මේ ආකාරයටමයි. ඇත්තටම මෙහි කිසිඳු වරදක් නැහැ. අපේ ඉන්ද්‍රියන්ට ගෝචර ධර්ම සියල්ලටම වාගේ මෙය සත්‍යක්. නමුත් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ධර්මතා විසඳීමට මෙම ද්විකෝටික තර්කය ප්‍රමාණවත් නැහැ.

චතුස්කෝටික න්‍යාය යනු කුමක්ද?

පහත සිදුවීම බලන්න

දැන් වහිනවා                 – A ප්‍රකාශය

දැන් වහින්නෙ නෑ          – B ප්‍රකාශය

චතුස්කෝටික න්‍යාය අනුව ඉහත සිදුවීම දෙආකාර නොව සිව්ආකාරයෙන් විස්තර කළ හැකිය.

  1. දැන් වහිනවා
  2. දැන් වහින්නේ නෑ
  3. දැන් වහිනවා සහ වහින්නේ නැහැ
  4. දැන් වහින්නෙත් නෑ වහින්නේ නැත්තෙත් නැහැ

එනම්…..

එක්කෝ                       A  සත්‍යයි                     B අසත්‍යයි

එක්කෝ                       A  අසත්‍යයි                   B සත්‍යයි

එක්කෝ                       A  සත්‍යයි                     B සත්‍යයි

එක්කෝ                       A  අසත්‍යයි                   B අසත්‍යයි

ඉහත ප්‍රකාශය චතුස්කෝටික න්‍යායෙන් විස්තර කළ විට ඔබට සිතන්න පුළුවන් අවසාන තර්ක දෙක කිසිම තේරුමක් නැහැ කියලා. ඔබට එහෙම හිතෙන එක නිවැරදියි. වැස්ස වහිනවද යන ප්‍රකාශය අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නිසා එය පැහැදිලි කිරීමට අපට ද්විකෝටික න්‍යාය හොඳටම ප්‍රමාණවත්. නමුත් බුදු දහමේ එන ගැඹූරු කරුණු රාශියක් පැහැදිලි කිරීමට ද්විකෝටික න්‍යාය වැනි සරල න්‍යායක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ බොහෝ දේ විස්තර කර ඇත්තේ චතුස්කෝටික න්‍යාය භාවිතා කරලා.

අපගේ සරළ බුද්ධියට ඉහත සඳහන් කළ චතුස්කෝටික න්‍යාය තේරුමක් නැති දෙයක් ලෙස පෙනුනද එයා ඉතාමත් ගැඹුරු තේරුමක් ඇති න්‍යායක්. චතුස්කෝටිකයෙන් එහාට ගිය පිළිතුරු 16ක් සහිත සොළොස්කෝටික න්‍යායක් වුවද අපට තර්ක කිරීම සඳහා ගොඩ නගා ගත හැකියි. බුදුවරයෙක් චතුස්කෝටික න්‍යාය භාවිතා කර ප්‍රශ්න වලට පිළිතුරු අපට විස්තර කර දීමට ඉතා වෙහෙසක් ගත් හෙයින් අප වැනි සාමාන්‍ය පුද්ගලයන්ට සොළොස්කෝටියක් ගැන සිතන්නටවත් බැහැ.

බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ඉහත දැමූ ප්‍රශ්න 10 ක් (අව්‍යකෘත ප්‍රශ්න) මෙම චතුස්කෝටිකයට අදාළ වූ ගැඹුරු ගැටළුයි. ඒවා බුදුවරයෙකුට තේරුම් ගත හැකි වුවත් සාමන්‍ය පුද්ගලයන්ට තේරුම් ගැනීමට අපහසු නිසා බුදුරජාණන් වහන්සේ එවැනි චතුස්කෝටික ගැටළු රාශියක්ම පිළිතුරු නොදී ඉවත දැමුවා. එම ප්‍රශ්න වලට පිළිතුරු විස්තර කිරීමට යාමෙන් මිනිසුන් තව තවත් වැරදි මත වලට එළඹ ප්‍රශ්නය පටලවා ගන්නා බව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාණයට පෙනී ගියා.

ක්වන්ටම් භෞතික විද්‍යාව අනුව චතුස්කෝටික න්‍යාය පැහැදිලි කල හැකිද?

නවීන විද්‍යාවත් දැන් ක්‍රමයෙන් අපේ ඉන්ද්‍රීය වලට ගෝචර නොවන කරුණු පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කරනවා. මෙම විද්‍යාව හඳුන්වන්නේ “ක්වන්ටම් භෞතික විද්‍යාව” ලෙසයි. ක්වන්ටම් භෞතික විද්‍යාවත් ද්විකෝටිකයෙන් ඔබ්බට ගොස් ත්‍රිකෝටික සහ චතුස්කෝටික විසඳුම් පිළිබඳව සොයා බලනවා.

Schrodinger’s Cat (ෂෝඩින්ගර්ස් කැට්) නමින් හැඳින්වෙන න්‍යාය ක්වන්ටම් භෞතික විද්‍යාවත් ත්‍රිකෝටික විසඳුම් පිළිගන්නා බව පවසනවා. එය ඉතාමත් සරලව පැහැදිලි කරමු මේ ආකාරයට.  ( වැඩි විස්තර – https://en.wikipedia.org/wiki/Schr%C3%B6dinger%27s_cat )

හිතන්න විශාල පෙට්ටියක් ඇතුලේ පූසෙක් ඉන්නවා කියලා ඒ පෙට්ටියේ ඉතාමත් මාරාන්තික විෂ භාජනයකුත් තිබෙනවා. එම විෂ ඇඟේ ස්වල්පයක් ගෑවුනත් පූසා මැරෙන්න පුළුවන්. එළියේ ඉන්න අපිට මේ පෙට්ටියේ ඇතුලේ වන කිසිම දෙයක් පේන්නෙවත්, ඇහෙන්නෙවත් නැහැ. දැන් කවුරු හරි ඇහුවොත් පෙට්ටිය ඇතුලේ ඉන්න පූසා මේ වෙලාවෙ ජීවත් වෙනවද? Schrodingers_cat.svgනැතිනම් මැරිලද? කියලා මොකක්ද තිබිය හැකි පිළිතුරු දෙක.

එක්කො පූසා ජීවත් වෙනවා.

නැතිනම් පූසා මැරිලා.

එයයි ද්විකෝටික විසඳුම.

නමුත් ක්වන්ටම් භෞතික විද්‍යාව කියනවා මේ වේලාවෙ අවස්ථා තුනක් සත්‍යයි කියලා පිලිගන්නවා. ඉහත විසඳුම් දෙකට අමතරව ඇතුලේ ඉන්න පූසා මේ මොහොතේදී ජීවත් වන සහ මිය ගොස් සිටින යන අවස්ථා දෙක තුළම යන අවස්ථාවේද පවතින බව ක්වන්ටම් භෞතික විද්‍යාව පිළිගන්නවා. මෙය ඔවුන් හඳුන්වන්නේ (Quantum Super Position) යන නමින්.

පූසා සිටින පෙට්ටියේ පියන විවෘත කරන අයෙකුට පමණක් ඉහත ද්වීකෝටික යථාර්ත දෙකෙන් එකක් හරි කියලා පේනවා. හැබැයි පියන වහලා තියෙනවා තෙක්  ඉහත යථාර්ත 03 ම නිවැරදියි. පියන ඇරිය ගමන් එක් යථාර්තයක් ඇත්ත කියලා අපිට ඒත්තු යනවා.

ඉහත කථාව වැඩිය තේරෙන්නේ නැතිනම් ඒ ගැන වැඩිය හිතන්න එපා මොකද ඕවා අයින්ස්ටයින් මහත්තයා වගේ සුපිරි බුද්ධිමත් උදවිය ගොඩ නගපු මත. මෙහිදී අවශ්‍ය වුණේ නවීන විද්‍යාවත් දැන් ටික ටික චතුස්කෝටික න්‍යාය කරා ගමන් කරන බවට උදාහරණයක් පෙන්වන්න විතරයි.

පුනර්භවය සහ චතුස්කෝටික න්‍යාය

පුනර්භවය හා සම්බන්ධවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ ද්විකෝටික විසඳුමක් නොවේ.

සාමාන්‍ය අපිට තේරෙන්නේ පුනර්භවය හා සම්බන්ධ මේවාගේ මත දෙකක් විතරයි.

එක්කෝ…….                            නැවත උපදින්නේ තමාමයි.

නැතිනම්…….                            නැවත උපදින්නේ තමා නොවෙයි.

ඉහත ප්‍රකාශ දෙකෙන් නිවැරදි කුමන් ප්‍රකාශය දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසුව විට බුදුරජාණන් වහන්සේ එයට චතුස්කෝටික න්‍යාය අනුව තිබිය හැකි පිළිතුරු හතරක් පෙන්වා දී තිබෙනවා.

“නැවත උපදින්නේ තමාමයි.”

“නැවත උපදින්නේ තමා නොවෙයි.”

“නැවත උපදින්නේ තමාමයි, තමාත් නොවෙයි.”

නැවත උපදින්නේ තමාත් නොවෙයි, තමා නොවන්නේත් නොවෙයි.

බුදුරජාණන් වහන්සේ පුනර්භවය හා සම්බන්ධව නිවැරදි පිළිතුරු ලෙස පවසා ඇත්තේ ඉහත ඉරි ඇඳි හතරවන පිළිතුරයි.

ඔබට පුනර්භවය හා සම්බන්ධ ඉහත 04 වන ප්‍රකාශය නිවැරදිව අවබෝධ වනවානම් ඔබත් චතුස්කෝටික න්‍යාය මත පදනම් වූ ගැඹුරු බුදු දහම අවබෝධ කර ගැනීමට සූදානම්. සෝවාන් ඇතුළු මාර්ගඵල ලබා ගැනීමට මෙය අනිවාර්ය අංගයක්. එම නිසා ඔබත් ඉහත 04 වන විසදුම තේරුම් ගැනීමට හැකි තරම් උත්සාහ කර බලන්න.

 

අවසන් වශයෙන් චතුස්කෝටික න්‍යාය සරලව මෙසේ විස්තර කළ හැකිය.

ඇතැම් ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙකක් නොව පිළිතුරු 04 ක් තිබෙනවා.

A-සත්‍යයි                                  B-අසත්‍යයි

A-අසත්‍යයි                                B-සත්‍යයි

A-සත්‍යයි                                  B-සත්‍යයි

A-අසත්‍යයි                                B-අසත්‍යයි

මේ නිසා අපි අසන දකින දේවල් පිළිබඳව ඉක්මන් තීරණ ගන්න යන්න එපා. ඇතැම් සංසිද්ධි වලට අපිට දැනෙන විදියට වඩා වෙනස් පිළිතුරු තිබිය හැකි බව අවබෝධ කර ගත යුතුය. ඔබ කර්මය හා පුනර්භවය වැනි කරුණු නිවැරදිව තේරුම් නොගනී නම්, විශ්වාස නොකරයි නම් ඔබ බුද්ධ ධර්මය අවබෝධ කර ගත් අයෙක් නොවෙයි. ඒ නිසා චතුස්කෝටික න්‍යාය මත පදනම්ව සිතා බුදු දහම ලෙස බැලීමට ඔබත් උත්සාහ කරන්න.

Nirman Kodithuwakku – “Vidarshana” Magazine – 2015 July – Dec