කැම්පස් එකේ සිවිල් ඉංජිනේරු විද්‍යාවට අපිට තිබුනා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු Survey කෑම්ප් එකක්. සති දෙකක් නේවාසිකව තිබුණු මේ වැඩමුළුව තිබුනේ රාගම Boy’s ටවුන් කියන පල්ලියකට අයිති විශාල වත්තක.

වැඩමුළුව අවසාන දවස් වෙනකොට අව්වේ කර වේවි ඉඩම් මැනලා මැනලාම අපිට හොඳටම එපා වෙලා හිටියේ. අන්තිමටම තිබුනේ රාගම කාපට් දාපු පාරක් මනින්න. පයින් ඇවිද ඇවිද මහා දවාලේ පාර මනිනකොට ඉතින් හොඳ ගණන්. පොඩ්ඩක් විවේක ගැත්තෙත් පාරේ වාඩි වෙලා ලයිට් කණු වලට හේත්තු වෙලා. ඒ වෙනකොට බැච් එකේ හිටපු සුදුම කෙල්ලත් අඟුරු කෑල්ල වගේ කළු වෙලා හිටියේ. ඉතින් අපි ගැන වෙනම කියන්න ඕන නෑනේ..

පාර මනින කොට පාර දෙපැත්තේ ගෙවල් වල උදවිය ඉතින් අපිට හරි ආදරෙයි. මොකද පාර ලොකු කරන්න පාර මනිනවා කියල හිතන නිසා අපිට බටර් ගානවා ඒගොල්ලොන්ගේ ඉඩමෙන් අඩුවෙන් යන විදියට මනින්න කියල. අපිත් ඉතින් ජොලියට කට්ටිය බය කරන්න කියනවා අපි RDA එකෙන් පාර ලොකු කරන්න මනිනවා කියලා. ඒ වගේ පොඩි විහිළුවකින් තමයි ඉතින් අපි මහන්සිය අමතක කලේ.

ඔන්න එක ගෙදරක් ගාව මම පාර මනින උපකරණ හයි කරගෙන මැන මැන ඉන්නකොට ඒ ගෙදර අංකල් ආවා වතුර වීදුරුවකුත් අරගෙන. හොඳටම දාඩිය දාල අව්වේ කරවෙලා හොඳටම එපා වෙලා හිටියේ එතකොට. ස්තුති කරලා වතුර එක බොන අතරේ අංකල් අහනවා “අව්වේ මහන්සි උනාට ඉතින් කමක් නෑනේ ඕවට ඔය ළමයින්ට හොඳට ගෙවනවා ඇතිනේ”  කියලා.

අව්වේ කර වෙලා ආපහු යන්නේ කීයටද කියල බල බල හිටිය මට එක ඇහුවම හිත යටින් හිනා ගියා. අංකල් දිහා බලලා මම එකපාරටම කිව්වා

“නෑ අපි මේ අතින් සල්ලි දීලා ඇඟේ අමාරුවට තමයි අව්වේ කර වෙවී පාර මනින්නේ” කියලා..

අංකල් එකපාරටම මගේ දිහා රවලා බලලා අතේ තිබුණු වීදුරුවත් උදුරාගෙන වේගෙන් ආපහු ගෙට ගිහින් දොර වහ ගත්තා.

අපි මේ Survey ඉගෙන ගන්න ආපු වැඩමුළුවට වියදම් වලට කියල කැම්පස් එකෙන් අපි හැමෝගෙන්ම 2500/- ගානේ එකතු කරා කියලා කියන්න කලින් ඉතින් අංකල් තරහා වෙලා ගියාට ඉතින් මම මොනවා කරන්නද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment *