nirman matara sinhalapediaඅලුත් අවුරුදු පාසල් නිවාඩුව යනු මා කුඩා කල මාගේ ජීවිතේ ප්‍රියතම කාල සීමාවයි. අලුත් අවුරුදු නිවාඩුවේදී ගහ කොළ පළතුරු වලින් බරවී ඇත. විවිධ කෑම බීම රසකැවිලි ඕනෑතරම්ය. අවුරුදු දිනය ක්‍රමයෙන් ලංවන බව වැටහෙන්නේ දසතින් නැගෙන රතිඤ්ඤා හඬ ක්‍රමයෙන් වැඩිවන විටය.

අලුත් අවුරුදු සමයේදී මට සියළු දෑ දිස්වූයේ නැවුම් ප්‍රබෝධමත් අයුරිනි. ගහකොළ සතා සිව්පාවා පමණක් නොව හමන සුළඟේ, වැටෙනා හිරු එළියේ ද මට දැනුනේ ඉන් විහිදෙන අලුත් අවුරුදු ප්‍රබෝධයයි. අවුරුද්දේ වෙන දිනවලට වඩා අලුත් අවුරුදු සමයේ මා තුල පමණක් නොව, මුළු පරිසරයේම පුදුමාකාර නැවුම්, ආලෝකමත්, ප්‍රබෝධමත් ගතියක් මට දැනිනි. මා ජීවත් වූයේ මාතර නගරයේ වුවද අවුරුදු සමයට නගරයද ගැමි සුවඳින් ආලෝකමත් විය.

ඉන් දශක දෙකක් පමණ ගෙවුනු අද සිටින කුඩා දරුවන් අපි කුඩා කල අත්විඳි ඒ අවුරුදු සිරිය ඒ අයුරින්ම අත්විඳිනවාද යන්න විශාල ප්‍රශ්නාර්ථයකි. එකල විශේෂ සැමරීමකට ලක් නොවුනු ජනවාරි 01 දින හෙවත් බටහිර අවුරුද්ද සැමරීමට අද වනවිට ලාංකීය සමාජය තුල ද ක්‍රමයෙන් ප්‍රධාන තැනක් ලැබෙමින් පවතී. මේ නිසාම අද බොහෝ සිංහලයන්ට සිංහල අලුත් අවුරුද්ද වසරේ තවත් එක් දිනයක් බවට පත්වී ඇත.

මුදල් පසු පස හඹා යන තරඟකාරී සමාජය නිසා බොහෝ දෙමවුපියන්ටද තම නිවෙස් අස්පස් කර සෝදා සිංහල අවුරුද්ද සැමරීමට සූදානම් වීමට තරම් වේලාවක් හෝ වුවමනාවක් නැත. අද එදා මෙන් රතිඤ්ඤා හඬ එතරම් නොනැගෙන්නේ කුඩා දරුවන්ටද සෙල්ලම් කිරීමට අලුත් අවුරුද්දටවත් නිවෙසින් එළියට බහින්නට වේලාවක් හෝ වුවමනාවක් නොමැති නිසා විය යුතුය. ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් අතේ තියාගෙන කාමරයට වී මනඃකල්පිත ලෝකයකට කොටුවූ දරුවන්ට අවුරුදු සැමරීම “Happy New Year My Friends” කියා ෆේස්බුක් Status Update කිරීමට හෝ SMS යැවීමට පමණක් සීමා වී ඇත.

එදා අපි නිවසින් එළියට බැස අලුත් අවුරුදු ක්‍රීඩා කරන විට වත්මන් දරුවන් ක්‍රීඩා කරන්නේ කාමරයට වී තනියම පරිගණකය හෝ ජංගම දුරකථනය සමඟය. එදා අපි අලුත් අවුරුද්ද අවසන් වී ගමේ ගොස් ගහකොළ පරිසරය සමඟ හිතේ හැටියට විනෝද වුවද අද දරුවන් අලුත් අවුරුද්ද ඉවරවූ සැනින් නිවසින් එළියට බහින්නේ ටියුෂන් පන්ති යාමටය.

අවුරුද්දට සාප්පු සවාරි යාම පමණක් කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩිවී ඇත. මාතර දිස්ත්‍රික්කයේ සහ අවට පළාත් වලින් සාප්පු සවාරි පැමිණි ජනතාවගෙන් මාතර නගරය එකම හිස් ගොඩක් බවට පත් වී ඇත. එක්තරා ප්‍රසිද්ධ සාප්පුවක ඇඳුම් මිලදී ගැනීමට පොරකන සිංහලයන් දුටු මාගේ මුස්ලිම් මිතුරෙක් මට පැවසුවේ “සිංහල මිනිස්සු අවුරුද්දට ඇඳුම් ගන්න පොරකන හැටි දැක්කම අපිට හිතෙන්නෙ, මේ මිනිස්සු පසුගිය අවුරුද්දෙම ඉඳල තියෙන්නෙ ඇඳුම් නැවතිවයි” කියායි. එම කතාවේ නින්දාවක් ගැබ් වූවද එහි කටුක සත්‍යක්ද ඇත.

එදා අපේ දෙමව්පියන්ට අවුරුදු කන්නට මහා පරිමාණයෙන් මුදල් වියදම් වූයේ නැත. පවුලේ හැමෝටම අලුත් ඇඳුමක් අරන් දී අතේ සල්ලි තියෙන හැටියට ගෙදරට බඩුමුට්ටු ගත් අපේ දෙමාපියන් වඩාත් මුල් තැන දුන්නේ ගේ දොර පිරිසිදුව තබාගෙන සතුටින් අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමටය. අද බොහෝ දෙනා ලෝකෙට පේන්න අවුරුදු කන්න ගොස් අවුරුද්දට පා තබන්නේ ලෝකයාට ණය වී දැඩි මානසික පීඩනයකිනි. ලෝකයට ණය වී අලුත් අවුරුද්දක් ආරම්භ කිරීම තරම් කාලකන්නිකමක් තවත් නැත.

අලුත් අවුරුද්දේ සැබෑ අරමුණ පුරා වසරක් මුළුල්ලේ විඩාබර වූ මනස සැහැල්ලු කරගෙන නැවුම්ව සිත සතුටින් නව වසරේ ජීවිතය ආරම්භ කිරීමයි. මාගේ දෙමාපියන් ආදර්ශයෙන් මට කියා දුන් අලුත් අවුරුදු ත්‍යාගය එයයි. එම වටිනා ත්‍යාගය මා කෙදිනක හෝ මාගේ දරුවන්ටද දායද කල යුතුමය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 April – June

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment *