vidarshana nirmanසුප්‍රසිද්ධ, තායිලන්ත හිමි නමක් වන “අජාන් චාන්” ස්වාමීන් වහන්සේ විසින් වරක් බෞද්ධයා හැඳින්වීමට අපූරු උපමාවක් ඉදිරිපත් කර තිබුණා. එම උපමාවට අනුව උන් වහන්සේ බෞද්ධයා උපමා කොට තිබුණේ වී ගොඩක් මත ලැග සිටින සුනඛයෙකුටයි.

වී ගොඩ මත ලැග සිටින සුනඛයාට බඩගිනි දැණුන විට ඌ වී ගොඩ මතින් නැගිට ආහාර සොයා ගෙන ඉබාගාතේ යයි. මෙලෙස ආහාර සොයා ගෙන යාමේදී අසල්වැසි ගෙවල් වලින් විසිකරන ආහාර තම භෝජනය බවට පත් කර ගන්නා සුනඛයාට ඇතැම් විට අනෙකුත් සුනඛයන් සමඟ ආහාර බෙදා ගැනීමට පොර බැදීමටද සිදුවෙයි. ඇතැම් මිනිසුන්ගෙන් මෙලෙස ඉබාගාතේ යන සුනඛයන්ට ලැබෙන්නේ ගල් මුල් ප්‍රහාර පමණයි. මේ කිසිම දෙයක් මායිම් නොකරන සුනඛයා මිනිසුන් විසිකරන ඉඳුල් බත් අනුභව කර තම කුසගිනි නිවුණු පසු නැවත තමා සිටින වී ගොඩ මතට පැමිණ සැපසේ නින්දට යයි. නැවත වරක් කුසගිනි දැණුන විට සුනඛයා සුපුරුදු පරිදිම නැවත ඉබාගාතේ යාම අරඹයි.

ඉහත උපමාවේ පරිදි වී ගොඩක් මත ලැග සිටින සුනඛයෙකුට බෞද්ධයා උපමා කොට ඇත්තේ මන්ද යන්න විමසා බැලිය යුතුයි. බුදු දහම යනු නවීන විද්‍යාවන් පරදවන ලොව පුරා විද්වතුන්ගේ පැසසුමට පත් උතුම්ම ධර්මයයි. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා බෞද්ධයන් වී ඇත්තේ උපතින්ම මිස අවබෝධයෙන් නොවෙයි. මේ නිසා වී ගොඩෙහි ලගින සුනඛයා තමා ලැග සිටින වී ගොඩෙහි ඇති වටිනා කම නොදන්නා සේම ශ්‍රී ලංකීය බෞද්ධයාටද බෞද්ධ ධර්මයෙහි ඇති වටිනාකම සහ තම ජීවිතයට ගත හැකි ප්‍රයෝජන පිළිබඳව නිසි අවබෝධයක් නැත.

සුනඛයාට කුසගිනි දැණුන විට තමා ලැග සිටින වී ගොඩෙහි ඇති වී, සහල් බවට පත් කර අනුභව කළ හැකි බව දන්නේ නැහැ. මේ නිසා කුසගිනි දැණුන සුනඛයා කරන්නේ වී ගොඩ පසෙකලා ඉබාගාතේ ගොස් තමාට පහසුවෙන් ලබාගත හැකි ඉඳුල් වූ ආහාර සොයා අනුභව කිරීමයි. ශ්‍රී ලාංකිය බෞද්ධයාද උතුම් වූ නිර්මල බුදු දහම නිසි පරිදි අවබෝධ කර ගෙන එහි ප්‍රතිලාභ ලබා ගැනීම පසෙකලා සිදු කරන්නනේ අන් ආගම් වල සරණ යාමයි.

ඉන්දියාවේ හින්දු ආගමේ සඳහන් සෑම දෙවි කෙනෙක්ම සිංහල බෞද්ධයාට ඉතාමත් හුරු පුරුදුය. ශ්‍රී ලංකාවේ ජීවත් වන හින්දු ජනගහනය සමඟ සැසඳීමේදී ඉන්දියාවටත් වඩා එම දෙවිවරුන්ට කෝවිල් තනා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ විය යුතුය. එම සෑම කෝවිලකම අපට දැක ගත හැකි වන්නේ දෙවියන්ගෙන් විවිධාකාර ඉල්ලීම් කරමින් පුද පූජා පවත්වන භාර හාර වන ශ්‍රී ලාංකීය බෞද්ධයන්ය.

මුස්ලිම් ආගම් වේවා, හින්දු ආගම් වේවා සතුන් මරා සිදුකරන බිලි පූජා වලටද ඇතැම් සිංහල බෞද්ධයන් සම්බන්ධ වන්නේ ඉතාමත් භක්තියකිනි. දරුඵල ලබා ගැනීමට, විභාග සමත් වීමට සහ ලෙඩ රෝග සුව කරවා ගැනීමටද ශ්‍රී ලාංකීය බෞද්ධයා නිරත යන කතෝලික දේවස්ථාන රට පුරා විහිදී ඇත. තම ජීවිතයේ සෑම විශේෂ ක්‍රියාවක්ම ශ්‍රී ලාංකීය බෞද්ධයා සිදු කරන්නේ තම කේන්දරය අනුවයි. කුමන හෝ ගැටළුවක් පැණ නැඟුනු විට කේන්දරය බලා ගැනීම, ශාස්ත්‍ර-පේන ඇසීම, ගුප්ත විද්‍යාව අනුව ගුරුකම් කර ගත හැකි ප්‍රසිද්ධ ගුරුන්නාන්සේලා සහ කපු මහත්වරු ගමකට දෙතුන් දෙනෙක්ම ඇත. මෑතක සිට සිංහල බෞද්ධයාගේ අලුත්ම විනෝදාංශය වී ඇත්තේ නිවසේ දියුණුව පිණිස රුපියල් දහස් ගණන් වියදම් කොට වාලම්පුරි මිලදී ගැනීමයි. බොහෝ නිවෙස් වලට ගොඩ වන විට බුද්ධ රූපයට පෙර දැකිය හැකි වන්නේ මාරු කාසි ගොඩක් මැඳ සිනා වෙමින් වැඩ සිටින ලාෆින් බුද්ධාය.

සිංහල බෞද්ධයා මෙලෙස අන් ආගම් හා විශ්වාස හමුවේ තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඉබාගාතේ ගියත් බුදු දහම අත් නොහරී. නිවසේ ශබ්ද නගා බණ ඇසීම, නිවසේත්, වාහන වලත් හැම තැනම බුද්ධ රූප තැබීම, පෝයට පන්සල් යාම ඔවුන් අත් නොහරී. නමුත් ගැටළුවකට මුහුණ පාන සෑම විටකදීම සිංහල බෞද්ධයා නැවත පුරුදු පරිදි අන් ආගම් හා විශ්වාස පසුපස ඉබාගාතේ යයි.

සුනඛයාට තමා ලැග සිටින වී ගොඩෙහි ඇති වටිනා කම තේරුම් ගැනීමට නොහැකි වන්නේ සුනඛයා සතු මෝඩ සහ අලස බව නිසයි. සුනඛයා සෑම විටම බලාපොරොත්තු වන්නේ ඌට ඉතා පහසුවෙන් ලැබෙන දේ පිළිබඳව පමණි. වී කොටා, තම්බා, බතක් උයා එමගින් සදහටම කුසගිනි නිවා ගත හැකි බව යමෙකු සුනඛයාට ඉගැන්වීමට උත්සාහ කළත් එය වටහා ගැනීමට තරම් ප්‍රඥාවක් සුනඛයාට නොමැත. එම නිසා සුනඛයා , සුනඛයෙක් ලෙසම ඉපදී ජීවිත කාලය පුරාම දඩාවතේ ගොස් අවසානයේදී සුනඛයෙකු ලෙස මිය යන්නේ ඌ ජීවිත කාලය පුරාම ලැග සිටි ඉතාමත් වටිනා වී ගොඩ මතමයි. වී ගොඩේ නිසි වටිනාකම දැන සිටියා නම් ඌට කෙදිනකවත් ආහාර සොයා ඉබාගාතේ ඇවිදීමට සිදු වන්නේ නැත.

විදර්ශනා සඟරාව හරහා ද අපගේ වෑයම වන්නේ උතුම් වූ සද්ධර්මය නැමති වටිනා මහා නිධානයක් මත අලසව නිදාගෙන සිටින සිංහල බෞද්ධයාට ඔහුට උපතින්ම උරුම වූ ඒ උතුම් වූ සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධ කරදීමයි.

Editorial: Nirman Kodithuwakku – “Vidarshana” Magazine 2015 Aug – Dec

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment *