matara-today-cover-2016-sepසතා සිවුපාවා ඇතුළු සෑම දෙනාම ලෝකේ කොහේ හිටියත් එක වර්ගයේ උන් එකට වාසය කිරීම සිරිතය. මිනිසුන් තුලද මේ සිරිත ඒ ආකාරයෙන්ම දැකිය හැකිය. ජාතිය, ආගම, කුලය සහ ගම ආදී විවිධ කාරණා පදනම් කරගෙන ලංකාවේ පමණක් නොව ලෝකේ කොහේ ගියත් තමන්ගේ අය සමග එකට වාසය කිරීමට අපිද කැමතිය.

විශ්ව විද්යාලයේදීද මේ ආකාරයට එක වර්ගයේ අය එකට කල්ලි ගැසෙති. මෙය විශ්ව විද්‍යාල භාෂාවෙන් හැදින්වෙන්නේ “ගැට්ට” යන වචනයෙනි. දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් තම පළාත, නගරය, පාසල, ආගම සහ ජාතිය ආදී කාරණා පදනම් කරගෙන “ගැට්ට ගැසීම” සිදු කරති.

විශ්ව විද්‍යාලයේ කුමන ගැටී තිබුනද මා අධ්‍යාපනය ලැබූ මොරටුව සරසවියේ ප්‍රසිද්ධතම ගැට්ට වූයේ “මාතර ගට්ටයි”. විශ්ව විද්‍යාලයට තේරී පත් වී එතුලට යාමටත් පෙර සිටම අපව “මාතර ගැට්ටේ” සාමාජිකයන් ලෙස බඳවා ගැනිණි. එදා “මාතර ගැට්ට” සැම විටම රැස් වූයේ මාතර බ්‍රවුන්ස්හිල් වෙරළේදීය. මාතර ගැට්ටේ නව සාමාජිකයන් එකිනෙකා හඳුනාගැනීමත් ගැට්ටේ කටයුතු කළමනාකරණය කිරීමට කණ්ඩායම් නායකයෙකු පත් කර ගැනීමත් මෙහිදී සිදුවිය. නොදන්නා කොළඹට පා තබන අපි එකිනෙකාට උදව් කරගත යුතු බව මෙහිදී අපට දැඩිව අවධාරණය කළේය.

ඉරිදා සවස මාතරින් කොළඹ බලා යන දුම්රියේ අවසාන මැදිරි එදා නිල නොවන වශයෙන් වෙන් වී තිබුනේ “මාතර ගැට්ටේ” අපටය. කොළඹ විවිධ විශ්ව විද්‍යාල වල සියළු ශිෂ්‍යයන් මෙම මැදිරියේ ගමන් කල අතර වැරදීමකින් හෝ මෙම මැදිරියට ගොඩ වෙන බාහිර පුද්ගලයන් ඉතා සුළු මොහොතකින් මුවින් නොබැන ඉන් බැස වෙනත් මැදිරියකට ගොඩ වන්නේ “මාතර ගැට්ටේ” කාල ගෝට්ටිය සහ විකාර බලා සිටිනු බැරි තැනය.
මෙම දුම්රිය ගමනේදී නවක සිසුන්ට “වාත කිරීම” සිදු කෙරිණි. මෙහිදී සිදු වන්නේ නවක සිසුන්ගෙන් තේරුමක් නැති විවිධ විකාර ප්‍රශ්න අසමින් ජ්‍යෙෂ්ඨ සිසුන් සැබවින්ම වාතයක් බවට පත් වීමයි. නමුත් මෙමගින් මාතර ගැට්ටේ නවක සිසුන් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් සමග දැඩි බැඳීමක් සහ සුහදතාවයක් ඇති විය.එදා මට වාත කල මාතර ජ්‍යෙෂ්ඨ සිසුන් අදටත් මාගේ ගජ මිතුරන්ය. මීට අමතරව ලජ්ජාශීලී නවකයන්ගේ ලජ්ජා බය අඩු කර කොළඹට උචිත ලෙස හැඩ ගැන්වීමද මෙම වාත කිරීමේදී සිදුවිය. ජීවිතේට ගැහැණු ළමයෙක් දිහා කෙලින් බලා නොතිබුණු මට මාතර සිට කොළඹ යන තෙක්ම ගැහැණු ළමයින් දෙදෙනෙකු මැද වාඩි වී යන්නට වාසනාව පෑදුනේද මෙම වාත කිරීමේ ප්‍රතිපලයක් ලෙසය.

අනෙක් දිස්ත්‍රික්ක වල අයද විවිධ “ගැටී” සාදාගෙන තිබුනත් ඒවා අතරින් කැපී පෙනෙන ගැටී වූයේ කොළඹ ගැට්ට, නුවර ගැට්ට, කුරුණෑගල ගැට්ට, ගාල්ල ගැට්ට සහ ගම්පහ ගැට්ට පමණි. අනෙක් දිස්ත්‍රික්ක වල අයට ගැට්ටක් සැදීමට ප්‍රමාණවත් ගනපූරණයක් නොමැති වූ හෙයින් ඔවුන් තමන්ට ආසන්නතම ප්‍රභල ගැට්ටට හේත්තු විය. හම්බන්තොට ගැට්ටට නිතරගයෙන්ම මාතර ගැට්ටේ සාමාජිකත්වය හිමිවී තිබුනේ මේ නිසාය.
විශ්ව විද්‍යාලය තුල මාතර ගැට්ට ප්‍රබල චරිතයක් මෙහෙයවීය. ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා පත් කිරීමේදී ඒ සඳහා වැඩි ඡන්ද බලයක් හිමිවී තිබුනේ කොළඹ ගැට්ටටය. නමුත් ප්‍රබල මාතර ගැට්ට තරහ කරගෙන නායකයෙකු තේරීම ප්‍රයෝගික නොවන බව ඔවුන් දැන සිටියේය. මේ නිසා කොළඹ පාසලකින් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ නමුත් මාතර ඉපිදී මාතරම මූලික අධ්‍යාපනය හැදෑරු ශිෂ්‍යයෙක් සෑමවිටම කණ්ඩායම් නායකයා ලෙස පත් විය. කොළඹ ගැට්ටේ උනත් ඌ මාතර අපේ එකා යන හැගීම මේ නිසා මාතර ගැට්ටේ අප තුල විය.

විශ්ව විද්‍යාලයේ සෑම පොදු වැඩකදීම “මාතර ගැට්ට” ඉදිරියෙන්ම සිටියේය. කොළඹ අය බටහිර පන්නයට ලැදි විවිධ සෝබන ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමය සම්පූරණයෙන්ම පාලනය කලේ “මාතර ගැට්ට” විසිනි. පිං අතේ වැඩක් කලත්, වලියක් ගියත් කොතනත් ඉදිරියෙන්ම සිටියේ “මාතර ගට්ටය”. අනිත් ගැටි වල අය තමන්ගේ ගැට්ටේ සාමාජිකයන්ට පමණක් උදව් කරද්දී මාතර ගැට්ට පමණක් කිසිදු භේදයකින් තොරව තිබූ දෑ බෙදා හදා ගත්තේ ඒ මාතර අපේ හැටි නිසාය.

අදට හරියටම වසර 06 ක් සම්පුර්ණ වන “මාතර Today” සඟරාව බිහිවූයේද ඇතැම් විට එදා “මාතර ගැට්ටෙන්” මට දැනුණු මාතර අපේ කමේ ප්‍රතිපලයක් ලෙස විය හැකිය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 September – December

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment *