මේ රට අපේ රට යයි කියා අපි හැමෝටම කැක්කුමක් ඇත. අපේ රටට කවුරුන් හෝ අවනම්බුවක් කරන විට අපට රිදෙන්නේ ඒ නිසාය. ක්‍රිකට්  තරඟයක් ජයග්‍රහණය කරන විටද අපට දැඩි සතුටක් දැනෙන්නේ තරඟය ජයග්‍රහණය කළාටත් වඩා ඉන් අපේ රටට ලැබෙන ගෞරවය නිසාය. මේ රට අපේ රට නිසා අපේ රටට හරියනවට අපි හැමෝම කැමතිය.

නමුත් සැබවින්ම මේ අපේ රටද යන්න අපි තරමක් ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ රට අපේ රට නම් රටේ සංස්කෘතිය, රටේ ප්‍රතිරූපය කෙසේද යන්න තීරණය කිරීමට හැකියාවක් අපට තිබිය යුතුය. නමුත් සැබවින්ම මේ රටේ ප්‍රතිරූපය හෝ සංස්කෘතිය තීරණය කිරීමට අපට අබමල් රේණුවක තරම්වත් හැකියාවක් නැත.මන්ද ඒ සියල්ල තීරණය කරන්නේ රට කරවන දේශපාලන අධිකාරිය විසින් නිසාය. අපි සැබවින්ම කරන්නේ රට යන අතට යන එක පමණි.

රටක ලක්ෂණ කෙබඳුද යන්න සම්පූරණයෙන්ම රට කරවන පුද්ගලයා මත හෝ ඒ වටා රොක් වූ කල්ලිය මත තීරණය වෙයි. 1948 ට පෙර අපේ රට කරවුයේ සුද්දන්ය. එකල ලංකාවේ ප්‍රතිරූපය වූයේ බටහිරට සංස්කෘතියට ලැදි “Ceylon” ලෙසය. එදා සිංහල කම ලජ්ජාවට කාරණයක් විය. නිදහස ලැබීමෙන් පසු සුද්දන් සමග එකට වයින් බිවු කලිසම් කෝට් හැඳි D .S  සේනානායක මහතා ලංකාවේ නායකයා විය. එකල අපේ රට බටහිර – ලාංකීය ගන්ධබ්බ සංස්කෘතික ස්වරූපයක් ගැනිණි. ඒ ක්‍රමය හරියන්නේ නැති බව වැටහුණු බණ්ඩාරනායක මහතා සරම බැනියම හැඳ අමු සුද්ද සිංහල ලංකාවක් බිහි කළේය.තව ටික කලකින් සිරිමාවෝ මැතිණියට වුවමනා වූ නිසා සමාජවාදී ලංකාවක් බිහි විය. J .R  ජයවර්ධන මහතාට නැවත ලංකාව පුංචි අමෙරිකාවක් කරන්නට වුවමනා විය. රෝහණ විජේවීර ලංකාවේ සෝවියට් දේශයක් බිහි කරන්නට ගොස් මැරුම් කෑවේය. ප්‍රේමදාස මහතා ඉන්දියාව තරහ කරගෙන කොටියා මිතුරා කර ගත්තේය. චන්ද්‍රිකා මැතිණිය යටතේ ලංකාවේ ප්‍රතිරූපය ගමේ භාෂාවෙන්ම කියනවා නම් “මෙලෝම රහක්” නැති විය.මහින්ද රාජපක්ෂ මහතා යටතේ යුධ විජයග්‍රාහී ජාතිවාදී ලංකාවක් බිහිවී එය චීනයේ සුරතලා විය. වර්තාමාන ජනාධිපතිතුමා රටට වෙන්නේ මොනවාද කියා දැන ගන්නේ ඒවා පත්තරේ පල වූ විටය. ඊට හේතුව ඇත්තටම රට කරවන්නේ රටේ දෙවනියා වන අගමැතිවරයා විසින් වීමය. වර්තාමන අගමැතිවරයා සිටින්නේ ඊළඟට යන්නේ ඇමරිකාවටද චීනයටද යන්න සිතා ගන්න බැරි තත්ත්වයකය.

මේ අනුව හොඳින් කල්පනා කර බැලූ විට ඉතිහාසයේ හා වර්තාමනයේදී අපේ රටේ සංස්කෘතිය, ප්‍රතිරූපය කෙබඳුද යන්න තීරණය කර ඇත්තේ රට පාලනය කල අයගේ සිතුවිලි අනුව මිස ජනතාව වන අපගේ කැමැත්ත අනුව නොවේය. මෙය ලංකාවට පමණක් උරුම වූ ඛේදවාචකයක් නොවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව ඔබාමා යටතේ තිබු ඇමෙරිකාවට වඩා වෙනස් වී ඇත. බොරිස් යෙල්ට්සින්ගේ රුසියාව පූටින් යටතේ කනපිට හැරවිණි. උතුරු කොරියාවේ කිම් ජොන් උන් ජීවත්ව සිටින තුරු අපට උතුරු කොරියාව පෙනෙනු ඇත්තේ විනෝදයට න්‍යෂ්ටික බෝම්බ සාදන හිතුවක්කාර පිස්සන් රැලක් ලෙසය. මේ අනුව බැලු කල ලොව සෑම රටක්ම එහි ප්‍රතිරූපය ගොඩනගා ගෙන ඇත්තේ එම රට පාලනය කරන ප්‍රධාන මොළ ගෙඩියේ ස්වභාවය අනුව මිස එම රටේ ජනතාව කැමති විදියට නෙවේය. “අපට පාලනය කල නොහැකි කිසිම දෙයක් අපේ විය නොහැකිය”…

කාලෙන් කාලෙට මේ අයුරින් රට වෙනස් වුවාට ගමේ සංස්කෘතිය වෙනස් වෙන්නේ නැත. මාතර මගේ ගමය. මාතර මගේ ගමේ මට දැනෙන අමුතු සුවඳක් ඇත. කොළඹ සිට අධිවේගී මාර්ගයේ මාතරට එනවිට ගොඩගමට එන විටම මගේ රස නහර පිනා යන්නේ ඒ මාතර සුවඳින්ය. පාර්ලිමේන්තුව, පළාත්සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව කවුරුන් කරවුවත් ගමේ සුවඳ වෙනස් කිරීමට ඒ කාගෙන්වත් දැනෙන හානියක් සිදුවන්නේ නැත. භෞතික සාධක වෙනස් වුවද ගමේ සංකෘතිය, ගමේ පන්සල, ගමේ පල්ලිය, ගමේ පාසල, ගමේ සිරිත් විරිත්, ගමේ සම්ප්‍රදාය යන මේ සියල්ලම වෙනස් වන්නේ ගමේ අපි වෙනස් වුවහොත් පමණි. ගමේ සෑම තැනකම අපටම ආවේනික වූ මතකයන් රැඳී ඇත. “මේ නිසා ගම වෙනස් කිරීමේ හෝ රක ගැනීමේ බලය හිමිවී තිබෙන්නේ ගමේ අපටය.  එනම් රට අපේ නොවුනාට ගම අපේය”.

බොහෝ දෙනා සිතන්නේ ගම රටේ කොටසක් නිසා ගම රැකෙන්නේ රට රැකුනොත් කියාය. නමුත් රටට හෙට වෙන දේ අපි කවුරුවත් දන්නේ නැත. මන්ද, රටේ හෙට දවස තීරණය වන්නේ රට කරවන අයගේ ඔළුගෙඩි වලට එන සිතුවිලි වලය අනුවය. මේ නිසා අපි කල යුත්තේ ඕනෑම කෙනෙකුට රට කරගන්නට දී අපේ ගම අපිට පුළුවන් විදියට රැක ගැනීමය. හැම ගමක්ම සෑදෙන විට රට නිකම්ම හදෙනු ඇත. ස්විස්ටර්ලන්තය, නොර්වේ, ඔස්ට්‍රේලියාව , ඊශ්‍රායලය, වැනි රටවල නායකයා වෙනස් වූ පමණින් රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන්නේ මෙම ක්‍රමය නිසාය.

ඇතැම් අයට රට දාලා යන්න හිතුනත් සැබවින්ම රට දාලා යන්න අමාරු “රට දාලා ගියත් ගම දාලා යන්න තියන බැරිකම නිසාය”.

රට උන්ගේය… ගම අපේය…….

Editorial: Matara Today 2017 January – March

Nirman Kodithuwakku

Comments are closed.