ආගිය කතා

අතින් සල්ලි දීලා පාර මැනපු හැටි.

කැම්පස් එකේ සිවිල් ඉංජිනේරු විද්‍යාවට අපිට තිබුනා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු Survey කෑම්ප් එකක්. සති දෙකක් නේවාසිකව තිබුණු මේ වැඩමුළුව තිබුනේ රාගම Boy’s ටවුන් කියන පල්ලියකට අයිති විශාල වත්තක.

වැඩමුළුව අවසාන දවස් වෙනකොට අව්වේ කර වේවි ඉඩම් මැනලා මැනලාම අපිට හොඳටම එපා වෙලා හිටියේ. අන්තිමටම තිබුනේ රාගම කාපට් දාපු පාරක් මනින්න. පයින් ඇවිද ඇවිද මහා දවාලේ පාර මනිනකොට ඉතින් හොඳ ගණන්. පොඩ්ඩක් විවේක ගැත්තෙත් පාරේ වාඩි වෙලා ලයිට් කණු වලට හේත්තු වෙලා. ඒ වෙනකොට බැච් එකේ හිටපු සුදුම කෙල්ලත් අඟුරු කෑල්ල වගේ කළු වෙලා හිටියේ. ඉතින් අපි ගැන වෙනම කියන්න ඕන නෑනේ..

පාර මනින කොට පාර දෙපැත්තේ ගෙවල් වල උදවිය ඉතින් අපිට හරි ආදරෙයි. මොකද පාර ලොකු කරන්න පාර මනිනවා කියල හිතන නිසා අපිට බටර් ගානවා ඒගොල්ලොන්ගේ ඉඩමෙන් අඩුවෙන් යන විදියට මනින්න කියල. අපිත් ඉතින් ජොලියට කට්ටිය බය කරන්න කියනවා අපි RDA එකෙන් පාර ලොකු කරන්න මනිනවා කියලා. ඒ වගේ පොඩි විහිළුවකින් තමයි ඉතින් අපි මහන්සිය අමතක කලේ.

ඔන්න එක ගෙදරක් ගාව මම පාර මනින උපකරණ හයි කරගෙන මැන මැන ඉන්නකොට ඒ ගෙදර අංකල් ආවා වතුර වීදුරුවකුත් අරගෙන. හොඳටම දාඩිය දාල අව්වේ කරවෙලා හොඳටම එපා වෙලා හිටියේ එතකොට. ස්තුති කරලා වතුර එක බොන අතරේ අංකල් අහනවා “අව්වේ මහන්සි උනාට ඉතින් කමක් නෑනේ ඕවට ඔය ළමයින්ට හොඳට ගෙවනවා ඇතිනේ”  කියලා.

අව්වේ කර වෙලා ආපහු යන්නේ කීයටද කියල බල බල හිටිය මට එක ඇහුවම හිත යටින් හිනා ගියා. අංකල් දිහා බලලා මම එකපාරටම කිව්වා

“නෑ අපි මේ අතින් සල්ලි දීලා ඇඟේ අමාරුවට තමයි අව්වේ කර වෙවී පාර මනින්නේ” කියලා..

අංකල් එකපාරටම මගේ දිහා රවලා බලලා අතේ තිබුණු වීදුරුවත් උදුරාගෙන වේගෙන් ආපහු ගෙට ගිහින් දොර වහ ගත්තා.

අපි මේ Survey ඉගෙන ගන්න ආපු වැඩමුළුවට වියදම් වලට කියල කැම්පස් එකෙන් අපි හැමෝගෙන්ම 2500/- ගානේ එකතු කරා කියලා කියන්න කලින් ඉතින් අංකල් තරහා වෙලා ගියාට ඉතින් මම මොනවා කරන්නද?

අල්ලපු ගෙදර බල්ලා..

මේක සත්‍ය සිද්ධියක්…

මගේ යාලුවෙක්ගෙ ගෙදර හිටියලු හොඳ වටිනා ඇල්ශේෂන් බල්ලෙක්. අල්ලපු ගෙදරත් හිටියලු ඒ වර්ගෙම ඇල්ශේෂන් බැල්ලියෙක්. ඉතින් අල්ලපු ගෙදර අන්කල්ගෙන් හරි වදේ ලූ මිනිහට බල්ලා දෙන්න කියල බැල්ලිට cross කරන්න. හැබැයි ඉතින් බල්ලා තාම පැටියා හින්දා යාළුවා කැමති නෑ දැන්ම ඌ cross කරන්න. ඒ හින්දා පොර හැමදාම වැඩේ මග අරිනවා.

ඒ අන්කල්ට හිටියලු ලස්සන දුවෙක්. කෙල්ල ලස්සන නිසා ගමේ හිටපු මදාවියෙක් කෙල්ලගේ පස්සෙන්ම එනවලු. ඌ ගෙදර ගාවට එන්නේ තැඹිලි පාට කාර් එකකලූ කෙල්ල බලන්න. අන්කල්ට හොඳටම මල පැනළලු හිටියේ මේකට. ඕක හම්බ වුනු වෙලාවක අල්ලගන්නම් කිය කියා අහුවෙනකම් ලූ හිටියේ කොල්ලව. මොන තාත්තද ඉතින් කැමති මදාවියෙක්ට තමන්ගේ දූ බන්දලා දෙන්න..

දවසක් අන්කල් වැඩ ඇරිලා ගෙදර එනකොට මගේ යාළුවගේ වත්තේ එක පැත්තක දාල තිබුණු යාළුවගේ තාත්තගේ වාහන ගරාජ් එකට හදන්න තැඹිලි පාට කාර් එකක් නවත්තල තිබුනලු. ඕක දැකපු අන්කල් හිතුවලු අර මදාවි කොල්ල මගේ යාළුවා හම්බ වෙන්න ඇවිත් කියල. ඕක දැකල මල මාරු වෙච්ච අන්කල් ගේට්ටුව අරගෙන යාළුවගේ ගෙදරට ආවලු. ඇවිත් කෑ ගහල කතා කරාලු යාළුවගේ නම කියල.

යාළුවා එලියට ආවම අන්කල් එක පාරටම උගෙන් ඇහුවලු මෙහෙම…

“කෝ අර බල්ලා ඉන්නවද? මම අද අවේ ඕකව බෙල්ලෙන්ම අල්ලාගෙන යන්න”

සිද්දිය නොතේරුණු මගේ යාළුවා උත්තර දුන්නලු මෙහෙම..

“ඇයි අන්කල්, බැල්ලිට cross කරන්නද?”

ඊට පස්සේ අන්කල් කියපු ටික මේ පොස්ට් එකේ දාන්න බැහැ……..  🙂

අංජලිකා..

මම දවසක් යාලුවෙක් එක්ක ගියා අවුරුදු කීපයකට කලින් “අංජලිකා” ෆිල්ම් එක බලන්න. ඇත්තටම ගියේ ෆිල්ම් එක බලන්නටත් වඩා ඒකෙ රගපාන පූජා උමාශංකර් බලන්න තමයි ඉතින්.

මුළු ෆිල්ම් එකම අස්වාභාවික සීන් පිරිලා. සිද්ද වන හැමදේම හරිම අස්වාභාවිකයි. චිත්‍රපටියේ ප්‍රධාන නළුවා තමයි චන්න පෙරේරා. මිනිහා ෆිල්ම් එකේ යාලු වෙන්නේ ගෙදර වැඩකාරයගෙයි වැඩකාරිගෙයි දු (අංජලිකා) එක්ක. කෙල්ල ලස්සන උනාට ඉතින් වැඩේ කේස් නේ.

චන්නගේ තාත්තට රගපාන්නේ සනත් ගුණතිලක. මිනිහා මරුමුස් පොර. වලියටම තමා ඉන්නේ. ඔන්න දවසක් චන්න (චරිතේ නම තිවංක) තාත්තා ගාවට ගිහින් කියනවා “daddy මම අන්ජලිකට ආදරෙයි, මම එයාව කසාද බඳිනවා” කියලා.

මම හිතුවේ සනත් ගුණතිලක (තාත්තා) ගෙදර බඩු මුට්ටු පෙරලලා, චන්නට උදේට කාපුවා ආපහු එන්න දෙකක් ඇනලා, අංජලිකටත් වෙඩි තියලා මරලා දාවි කියලා. ඒ උනාට හිතා ගන්න බැරී විදියට සනත්, චන්න බදා ගෙන කියනවා “ඒක පුතාගේ කැමැත්ත නං මගේ ආශීර්වාදය පුතාට තියනවා. මගේ අකමැත්තක් නෑ” කියලා.

දැන් ඉතින් මට හොදටම මළ. ඇයි යකෝ වෙන්න බැරි වැඩනේ මේකේ වෙන්නේ. මම යාලුවට කිවවා “යමන් බන් යන්න. මේක මහා විකාරයක් බන්. තාත්තා කෙනෙක් ජීවිතේට ඕකට ඔහොම එක පාරට කැමති වෙනවද? මම තාත්තා උනා නම් මුලින් ගහනවා එකක් ඕකගේ කණ පැලෙන්න” කියලා.

එතකොට මගේ යාළුවා කියපි,

පොඩ්ඩක් හිතපන් මචං.. ෆිල්ම් එක චන්න ගෙනෙ. ඉතින් කොහොමද මොන දේ උනත් සනත් චන්නට විරුද්ධ වෙන්නේ. චන්න මොනවා ඇහුවත් ඉතින් සනත්ට හා කියන්න වෙනවා”

එතකොට තමයි මටත් මතක් උනේ චන්න ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා විතරක් නොවේ, නිශ්පාදනය, අධ්‍යක්ෂණය, පිටපත සේරමත් චන්නම තමයි. ඉතින් එහෙම එකේ සනත් ට  පුලුවන්ද ඌට ඉහලින් යන්න.