මාතර Today

අපේ රටද? අපේ ගමද?

මේ රට අපේ රට යයි කියා අපි හැමෝටම කැක්කුමක් ඇත. අපේ රටට කවුරුන් හෝ අවනම්බුවක් කරන විට අපට රිදෙන්නේ ඒ නිසාය. ක්‍රිකට්  තරඟයක් ජයග්‍රහණය කරන විටද අපට දැඩි සතුටක් දැනෙන්නේ තරඟය ජයග්‍රහණය කළාටත් වඩා ඉන් අපේ රටට ලැබෙන ගෞරවය නිසාය. මේ රට අපේ රට නිසා අපේ රටට හරියනවට අපි හැමෝම කැමතිය.

නමුත් සැබවින්ම මේ අපේ රටද යන්න අපි තරමක් ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ රට අපේ රට නම් රටේ සංස්කෘතිය, රටේ ප්‍රතිරූපය කෙසේද යන්න තීරණය කිරීමට හැකියාවක් අපට තිබිය යුතුය. නමුත් සැබවින්ම මේ රටේ ප්‍රතිරූපය හෝ සංස්කෘතිය තීරණය කිරීමට අපට අබමල් රේණුවක තරම්වත් හැකියාවක් නැත.මන්ද ඒ සියල්ල තීරණය කරන්නේ රට කරවන දේශපාලන අධිකාරිය විසින් නිසාය. අපි සැබවින්ම කරන්නේ රට යන අතට යන එක පමණි.

රටක ලක්ෂණ කෙබඳුද යන්න සම්පූරණයෙන්ම රට කරවන පුද්ගලයා මත හෝ ඒ වටා රොක් වූ කල්ලිය මත තීරණය වෙයි. 1948 ට පෙර අපේ රට කරවුයේ සුද්දන්ය. එකල ලංකාවේ ප්‍රතිරූපය වූයේ බටහිරට සංස්කෘතියට ලැදි “Ceylon” ලෙසය. එදා සිංහල කම ලජ්ජාවට කාරණයක් විය. නිදහස ලැබීමෙන් පසු සුද්දන් සමග එකට වයින් බිවු කලිසම් කෝට් හැඳි D .S  සේනානායක මහතා ලංකාවේ නායකයා විය. එකල අපේ රට බටහිර – ලාංකීය ගන්ධබ්බ සංස්කෘතික ස්වරූපයක් ගැනිණි. ඒ ක්‍රමය හරියන්නේ නැති බව වැටහුණු බණ්ඩාරනායක මහතා සරම බැනියම හැඳ අමු සුද්ද සිංහල ලංකාවක් බිහි කළේය.තව ටික කලකින් සිරිමාවෝ මැතිණියට වුවමනා වූ නිසා සමාජවාදී ලංකාවක් බිහි විය. J .R  ජයවර්ධන මහතාට නැවත ලංකාව පුංචි අමෙරිකාවක් කරන්නට වුවමනා විය. රෝහණ විජේවීර ලංකාවේ සෝවියට් දේශයක් බිහි කරන්නට ගොස් මැරුම් කෑවේය. ප්‍රේමදාස මහතා ඉන්දියාව තරහ කරගෙන කොටියා මිතුරා කර ගත්තේය. චන්ද්‍රිකා මැතිණිය යටතේ ලංකාවේ ප්‍රතිරූපය ගමේ භාෂාවෙන්ම කියනවා නම් “මෙලෝම රහක්” නැති විය.මහින්ද රාජපක්ෂ මහතා යටතේ යුධ විජයග්‍රාහී ජාතිවාදී ලංකාවක් බිහිවී එය චීනයේ සුරතලා විය. වර්තාමාන ජනාධිපතිතුමා රටට වෙන්නේ මොනවාද කියා දැන ගන්නේ ඒවා පත්තරේ පල වූ විටය. ඊට හේතුව ඇත්තටම රට කරවන්නේ රටේ දෙවනියා වන අගමැතිවරයා විසින් වීමය. වර්තාමන අගමැතිවරයා සිටින්නේ ඊළඟට යන්නේ ඇමරිකාවටද චීනයටද යන්න සිතා ගන්න බැරි තත්ත්වයකය.

මේ අනුව හොඳින් කල්පනා කර බැලූ විට ඉතිහාසයේ හා වර්තාමනයේදී අපේ රටේ සංස්කෘතිය, ප්‍රතිරූපය කෙබඳුද යන්න තීරණය කර ඇත්තේ රට පාලනය කල අයගේ සිතුවිලි අනුව මිස ජනතාව වන අපගේ කැමැත්ත අනුව නොවේය. මෙය ලංකාවට පමණක් උරුම වූ ඛේදවාචකයක් නොවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව ඔබාමා යටතේ තිබු ඇමෙරිකාවට වඩා වෙනස් වී ඇත. බොරිස් යෙල්ට්සින්ගේ රුසියාව පූටින් යටතේ කනපිට හැරවිණි. උතුරු කොරියාවේ කිම් ජොන් උන් ජීවත්ව සිටින තුරු අපට උතුරු කොරියාව පෙනෙනු ඇත්තේ විනෝදයට න්‍යෂ්ටික බෝම්බ සාදන හිතුවක්කාර පිස්සන් රැලක් ලෙසය. මේ අනුව බැලු කල ලොව සෑම රටක්ම එහි ප්‍රතිරූපය ගොඩනගා ගෙන ඇත්තේ එම රට පාලනය කරන ප්‍රධාන මොළ ගෙඩියේ ස්වභාවය අනුව මිස එම රටේ ජනතාව කැමති විදියට නෙවේය. “අපට පාලනය කල නොහැකි කිසිම දෙයක් අපේ විය නොහැකිය”…

කාලෙන් කාලෙට මේ අයුරින් රට වෙනස් වුවාට ගමේ සංස්කෘතිය වෙනස් වෙන්නේ නැත. මාතර මගේ ගමය. මාතර මගේ ගමේ මට දැනෙන අමුතු සුවඳක් ඇත. කොළඹ සිට අධිවේගී මාර්ගයේ මාතරට එනවිට ගොඩගමට එන විටම මගේ රස නහර පිනා යන්නේ ඒ මාතර සුවඳින්ය. පාර්ලිමේන්තුව, පළාත්සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව කවුරුන් කරවුවත් ගමේ සුවඳ වෙනස් කිරීමට ඒ කාගෙන්වත් දැනෙන හානියක් සිදුවන්නේ නැත. භෞතික සාධක වෙනස් වුවද ගමේ සංකෘතිය, ගමේ පන්සල, ගමේ පල්ලිය, ගමේ පාසල, ගමේ සිරිත් විරිත්, ගමේ සම්ප්‍රදාය යන මේ සියල්ලම වෙනස් වන්නේ ගමේ අපි වෙනස් වුවහොත් පමණි. ගමේ සෑම තැනකම අපටම ආවේනික වූ මතකයන් රැඳී ඇත. “මේ නිසා ගම වෙනස් කිරීමේ හෝ රක ගැනීමේ බලය හිමිවී තිබෙන්නේ ගමේ අපටය.  එනම් රට අපේ නොවුනාට ගම අපේය”.

බොහෝ දෙනා සිතන්නේ ගම රටේ කොටසක් නිසා ගම රැකෙන්නේ රට රැකුනොත් කියාය. නමුත් රටට හෙට වෙන දේ අපි කවුරුවත් දන්නේ නැත. මන්ද, රටේ හෙට දවස තීරණය වන්නේ රට කරවන අයගේ ඔළුගෙඩි වලට එන සිතුවිලි වලය අනුවය. මේ නිසා අපි කල යුත්තේ ඕනෑම කෙනෙකුට රට කරගන්නට දී අපේ ගම අපිට පුළුවන් විදියට රැක ගැනීමය. හැම ගමක්ම සෑදෙන විට රට නිකම්ම හදෙනු ඇත. ස්විස්ටර්ලන්තය, නොර්වේ, ඔස්ට්‍රේලියාව , ඊශ්‍රායලය, වැනි රටවල නායකයා වෙනස් වූ පමණින් රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන්නේ මෙම ක්‍රමය නිසාය.

ඇතැම් අයට රට දාලා යන්න හිතුනත් සැබවින්ම රට දාලා යන්න අමාරු “රට දාලා ගියත් ගම දාලා යන්න තියන බැරිකම නිසාය”.

රට උන්ගේය… ගම අපේය…….

Editorial: Matara Today 2017 January – March

Nirman Kodithuwakku

“මාතර ගැට්ට”

matara-today-cover-2016-sepසතා සිවුපාවා ඇතුළු සෑම දෙනාම ලෝකේ කොහේ හිටියත් එක වර්ගයේ උන් එකට වාසය කිරීම සිරිතය. මිනිසුන් තුලද මේ සිරිත ඒ ආකාරයෙන්ම දැකිය හැකිය. ජාතිය, ආගම, කුලය සහ ගම ආදී විවිධ කාරණා පදනම් කරගෙන ලංකාවේ පමණක් නොව ලෝකේ කොහේ ගියත් තමන්ගේ අය සමග එකට වාසය කිරීමට අපිද කැමතිය.

විශ්ව විද්යාලයේදීද මේ ආකාරයට එක වර්ගයේ අය එකට කල්ලි ගැසෙති. මෙය විශ්ව විද්‍යාල භාෂාවෙන් හැදින්වෙන්නේ “ගැට්ට” යන වචනයෙනි. දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් තම පළාත, නගරය, පාසල, ආගම සහ ජාතිය ආදී කාරණා පදනම් කරගෙන “ගැට්ට ගැසීම” සිදු කරති.

විශ්ව විද්‍යාලයේ කුමන ගැටී තිබුනද මා අධ්‍යාපනය ලැබූ මොරටුව සරසවියේ ප්‍රසිද්ධතම ගැට්ට වූයේ “මාතර ගට්ටයි”. විශ්ව විද්‍යාලයට තේරී පත් වී එතුලට යාමටත් පෙර සිටම අපව “මාතර ගැට්ටේ” සාමාජිකයන් ලෙස බඳවා ගැනිණි. එදා “මාතර ගැට්ට” සැම විටම රැස් වූයේ මාතර බ්‍රවුන්ස්හිල් වෙරළේදීය. මාතර ගැට්ටේ නව සාමාජිකයන් එකිනෙකා හඳුනාගැනීමත් ගැට්ටේ කටයුතු කළමනාකරණය කිරීමට කණ්ඩායම් නායකයෙකු පත් කර ගැනීමත් මෙහිදී සිදුවිය. නොදන්නා කොළඹට පා තබන අපි එකිනෙකාට උදව් කරගත යුතු බව මෙහිදී අපට දැඩිව අවධාරණය කළේය.

ඉරිදා සවස මාතරින් කොළඹ බලා යන දුම්රියේ අවසාන මැදිරි එදා නිල නොවන වශයෙන් වෙන් වී තිබුනේ “මාතර ගැට්ටේ” අපටය. කොළඹ විවිධ විශ්ව විද්‍යාල වල සියළු ශිෂ්‍යයන් මෙම මැදිරියේ ගමන් කල අතර වැරදීමකින් හෝ මෙම මැදිරියට ගොඩ වෙන බාහිර පුද්ගලයන් ඉතා සුළු මොහොතකින් මුවින් නොබැන ඉන් බැස වෙනත් මැදිරියකට ගොඩ වන්නේ “මාතර ගැට්ටේ” කාල ගෝට්ටිය සහ විකාර බලා සිටිනු බැරි තැනය.
මෙම දුම්රිය ගමනේදී නවක සිසුන්ට “වාත කිරීම” සිදු කෙරිණි. මෙහිදී සිදු වන්නේ නවක සිසුන්ගෙන් තේරුමක් නැති විවිධ විකාර ප්‍රශ්න අසමින් ජ්‍යෙෂ්ඨ සිසුන් සැබවින්ම වාතයක් බවට පත් වීමයි. නමුත් මෙමගින් මාතර ගැට්ටේ නවක සිසුන් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් සමග දැඩි බැඳීමක් සහ සුහදතාවයක් ඇති විය.එදා මට වාත කල මාතර ජ්‍යෙෂ්ඨ සිසුන් අදටත් මාගේ ගජ මිතුරන්ය. මීට අමතරව ලජ්ජාශීලී නවකයන්ගේ ලජ්ජා බය අඩු කර කොළඹට උචිත ලෙස හැඩ ගැන්වීමද මෙම වාත කිරීමේදී සිදුවිය. ජීවිතේට ගැහැණු ළමයෙක් දිහා කෙලින් බලා නොතිබුණු මට මාතර සිට කොළඹ යන තෙක්ම ගැහැණු ළමයින් දෙදෙනෙකු මැද වාඩි වී යන්නට වාසනාව පෑදුනේද මෙම වාත කිරීමේ ප්‍රතිපලයක් ලෙසය.

අනෙක් දිස්ත්‍රික්ක වල අයද විවිධ “ගැටී” සාදාගෙන තිබුනත් ඒවා අතරින් කැපී පෙනෙන ගැටී වූයේ කොළඹ ගැට්ට, නුවර ගැට්ට, කුරුණෑගල ගැට්ට, ගාල්ල ගැට්ට සහ ගම්පහ ගැට්ට පමණි. අනෙක් දිස්ත්‍රික්ක වල අයට ගැට්ටක් සැදීමට ප්‍රමාණවත් ගනපූරණයක් නොමැති වූ හෙයින් ඔවුන් තමන්ට ආසන්නතම ප්‍රභල ගැට්ටට හේත්තු විය. හම්බන්තොට ගැට්ටට නිතරගයෙන්ම මාතර ගැට්ටේ සාමාජිකත්වය හිමිවී තිබුනේ මේ නිසාය.
විශ්ව විද්‍යාලය තුල මාතර ගැට්ට ප්‍රබල චරිතයක් මෙහෙයවීය. ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා පත් කිරීමේදී ඒ සඳහා වැඩි ඡන්ද බලයක් හිමිවී තිබුනේ කොළඹ ගැට්ටටය. නමුත් ප්‍රබල මාතර ගැට්ට තරහ කරගෙන නායකයෙකු තේරීම ප්‍රයෝගික නොවන බව ඔවුන් දැන සිටියේය. මේ නිසා කොළඹ පාසලකින් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ නමුත් මාතර ඉපිදී මාතරම මූලික අධ්‍යාපනය හැදෑරු ශිෂ්‍යයෙක් සෑමවිටම කණ්ඩායම් නායකයා ලෙස පත් විය. කොළඹ ගැට්ටේ උනත් ඌ මාතර අපේ එකා යන හැගීම මේ නිසා මාතර ගැට්ටේ අප තුල විය.

විශ්ව විද්‍යාලයේ සෑම පොදු වැඩකදීම “මාතර ගැට්ට” ඉදිරියෙන්ම සිටියේය. කොළඹ අය බටහිර පන්නයට ලැදි විවිධ සෝබන ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමය සම්පූරණයෙන්ම පාලනය කලේ “මාතර ගැට්ට” විසිනි. පිං අතේ වැඩක් කලත්, වලියක් ගියත් කොතනත් ඉදිරියෙන්ම සිටියේ “මාතර ගට්ටය”. අනිත් ගැටි වල අය තමන්ගේ ගැට්ටේ සාමාජිකයන්ට පමණක් උදව් කරද්දී මාතර ගැට්ට පමණක් කිසිදු භේදයකින් තොරව තිබූ දෑ බෙදා හදා ගත්තේ ඒ මාතර අපේ හැටි නිසාය.

අදට හරියටම වසර 06 ක් සම්පුර්ණ වන “මාතර Today” සඟරාව බිහිවූයේද ඇතැම් විට එදා “මාතර ගැට්ටෙන්” මට දැනුණු මාතර අපේ කමේ ප්‍රතිපලයක් ලෙස විය හැකිය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 September – December

අමතක වූ අලුත් අවුරුද්දේ සැබෑ අරුත..

nirman matara sinhalapediaඅලුත් අවුරුදු පාසල් නිවාඩුව යනු මා කුඩා කල මාගේ ජීවිතේ ප්‍රියතම කාල සීමාවයි. අලුත් අවුරුදු නිවාඩුවේදී ගහ කොළ පළතුරු වලින් බරවී ඇත. විවිධ කෑම බීම රසකැවිලි ඕනෑතරම්ය. අවුරුදු දිනය ක්‍රමයෙන් ලංවන බව වැටහෙන්නේ දසතින් නැගෙන රතිඤ්ඤා හඬ ක්‍රමයෙන් වැඩිවන විටය.

අලුත් අවුරුදු සමයේදී මට සියළු දෑ දිස්වූයේ නැවුම් ප්‍රබෝධමත් අයුරිනි. ගහකොළ සතා සිව්පාවා පමණක් නොව හමන සුළඟේ, වැටෙනා හිරු එළියේ ද මට දැනුනේ ඉන් විහිදෙන අලුත් අවුරුදු ප්‍රබෝධයයි. අවුරුද්දේ වෙන දිනවලට වඩා අලුත් අවුරුදු සමයේ මා තුල පමණක් නොව, මුළු පරිසරයේම පුදුමාකාර නැවුම්, ආලෝකමත්, ප්‍රබෝධමත් ගතියක් මට දැනිනි. මා ජීවත් වූයේ මාතර නගරයේ වුවද අවුරුදු සමයට නගරයද ගැමි සුවඳින් ආලෝකමත් විය.

ඉන් දශක දෙකක් පමණ ගෙවුනු අද සිටින කුඩා දරුවන් අපි කුඩා කල අත්විඳි ඒ අවුරුදු සිරිය ඒ අයුරින්ම අත්විඳිනවාද යන්න විශාල ප්‍රශ්නාර්ථයකි. එකල විශේෂ සැමරීමකට ලක් නොවුනු ජනවාරි 01 දින හෙවත් බටහිර අවුරුද්ද සැමරීමට අද වනවිට ලාංකීය සමාජය තුල ද ක්‍රමයෙන් ප්‍රධාන තැනක් ලැබෙමින් පවතී. මේ නිසාම අද බොහෝ සිංහලයන්ට සිංහල අලුත් අවුරුද්ද වසරේ තවත් එක් දිනයක් බවට පත්වී ඇත.

මුදල් පසු පස හඹා යන තරඟකාරී සමාජය නිසා බොහෝ දෙමවුපියන්ටද තම නිවෙස් අස්පස් කර සෝදා සිංහල අවුරුද්ද සැමරීමට සූදානම් වීමට තරම් වේලාවක් හෝ වුවමනාවක් නැත. අද එදා මෙන් රතිඤ්ඤා හඬ එතරම් නොනැගෙන්නේ කුඩා දරුවන්ටද සෙල්ලම් කිරීමට අලුත් අවුරුද්දටවත් නිවෙසින් එළියට බහින්නට වේලාවක් හෝ වුවමනාවක් නොමැති නිසා විය යුතුය. ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් අතේ තියාගෙන කාමරයට වී මනඃකල්පිත ලෝකයකට කොටුවූ දරුවන්ට අවුරුදු සැමරීම “Happy New Year My Friends” කියා ෆේස්බුක් Status Update කිරීමට හෝ SMS යැවීමට පමණක් සීමා වී ඇත.

එදා අපි නිවසින් එළියට බැස අලුත් අවුරුදු ක්‍රීඩා කරන විට වත්මන් දරුවන් ක්‍රීඩා කරන්නේ කාමරයට වී තනියම පරිගණකය හෝ ජංගම දුරකථනය සමඟය. එදා අපි අලුත් අවුරුද්ද අවසන් වී ගමේ ගොස් ගහකොළ පරිසරය සමඟ හිතේ හැටියට විනෝද වුවද අද දරුවන් අලුත් අවුරුද්ද ඉවරවූ සැනින් නිවසින් එළියට බහින්නේ ටියුෂන් පන්ති යාමටය.

අවුරුද්දට සාප්පු සවාරි යාම පමණක් කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩිවී ඇත. මාතර දිස්ත්‍රික්කයේ සහ අවට පළාත් වලින් සාප්පු සවාරි පැමිණි ජනතාවගෙන් මාතර නගරය එකම හිස් ගොඩක් බවට පත් වී ඇත. එක්තරා ප්‍රසිද්ධ සාප්පුවක ඇඳුම් මිලදී ගැනීමට පොරකන සිංහලයන් දුටු මාගේ මුස්ලිම් මිතුරෙක් මට පැවසුවේ “සිංහල මිනිස්සු අවුරුද්දට ඇඳුම් ගන්න පොරකන හැටි දැක්කම අපිට හිතෙන්නෙ, මේ මිනිස්සු පසුගිය අවුරුද්දෙම ඉඳල තියෙන්නෙ ඇඳුම් නැවතිවයි” කියායි. එම කතාවේ නින්දාවක් ගැබ් වූවද එහි කටුක සත්‍යක්ද ඇත.

එදා අපේ දෙමව්පියන්ට අවුරුදු කන්නට මහා පරිමාණයෙන් මුදල් වියදම් වූයේ නැත. පවුලේ හැමෝටම අලුත් ඇඳුමක් අරන් දී අතේ සල්ලි තියෙන හැටියට ගෙදරට බඩුමුට්ටු ගත් අපේ දෙමාපියන් වඩාත් මුල් තැන දුන්නේ ගේ දොර පිරිසිදුව තබාගෙන සතුටින් අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමටය. අද බොහෝ දෙනා ලෝකෙට පේන්න අවුරුදු කන්න ගොස් අවුරුද්දට පා තබන්නේ ලෝකයාට ණය වී දැඩි මානසික පීඩනයකිනි. ලෝකයට ණය වී අලුත් අවුරුද්දක් ආරම්භ කිරීම තරම් කාලකන්නිකමක් තවත් නැත.

අලුත් අවුරුද්දේ සැබෑ අරමුණ පුරා වසරක් මුළුල්ලේ විඩාබර වූ මනස සැහැල්ලු කරගෙන නැවුම්ව සිත සතුටින් නව වසරේ ජීවිතය ආරම්භ කිරීමයි. මාගේ දෙමාපියන් ආදර්ශයෙන් මට කියා දුන් අලුත් අවුරුදු ත්‍යාගය එයයි. එම වටිනා ත්‍යාගය මා කෙදිනක හෝ මාගේ දරුවන්ටද දායද කල යුතුමය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 April – June

මාතරින් එහාට යන්න හදන “රුහුණු කුමාරිය”

nirman matara sinhalapediaපාසල් ගිය අවදියේදී දුම්රිය මාර්ග පිළිබඳ පාඩමේ ලංකාවේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ කෙළවර ලෙස අපට ඉගැන්වූයේ මාතර දුම්රිය පොළයි. එමගින් මාතරට විශේෂ ස්ථානයක් හිමිවී ඇතැයි හැඟුනු නිසා කුඩා මට ඒ පිළිබඳව තිබුණේ අහිංසක ආඩම්බරයකි. කතරගමට කෝච්චිපාර දික්කරන්න සැලසුම් කරල තිබුණත් ඒක හදාගන්න බැරිවුන දේශපාලන නායකයන් පිළිබඳව මේ නිසා මා තුළ වූයේ අසීමිත ආදරයකි.

කෝච්චි පාරේ කෙළවර මාතර වීම නිසා කෝච්චියේ ගමන් කිරීම කුඩා මට විනෝදයක් විය. කෝච්චිය මාතරට ලංවන විට කෝච්චි පෙට්ටියක ඉතිරි වන්නේ හත් අට දෙනෙක් පමණක් නිසා ගාල්ල පසුවූ පසු අපි ආවේ සීට් වල දිගාවෙලා නිදාගෙනය. කොයි දුර බැහැරක සිට කෝච්චියේ මාතර ආවත් අනිත් ගම්වල අයට වගේ මාතර අපිට කෝච්චියෙන් බහින්න හදිසියක් තිබුණේ නැත. වෙන ස්ටේසම් වල බහින අයට කෝච්චියෙන් බැහැගන්න තිබුණේ විනාඩි දෙක තුනක් වුනාට මාතර අපිට නිදාගෙන ආවත් කෝච්චියෙන් බහින එක ගැන බියක් නොතිබුණේ මාතරින් එහාට ජීවිතේට කෝච්චියක් නොගියපු නිසාය. මේ නිසා වයසක ආච්චිලා, සීයලාට වුනත් හිතේ හැටි පරිස්සමින් කෝච්චියෙන් බැහැගන්න මාතරදී ඕන තරම් වේලාව තිබිණි.

මාතර දුම්රිය මාර්ගයේ කෙළවර වීම නිසා සෑම දුර ගමන් දුම්රියක්ම වාගේ ආරම්භ වූයේද මාතරිනි. වෙන නගරවල අය කෝච්චියේ එනකොට පොරකලා කෝච්චියට ගොඩවෙලා සීට් අල්ලගන්න දැඟලුවත් මාතර අපිට නම් ඒවාගේ ප්‍රශ්න තිබුණේ නැත. කෝච්චිය යන්න පැය භාගයකට විතර කලින් මාතර ස්ටේසමට ගිහින් කැමති සීට් එකක් හිතේ හැටියට තෝර ගන්න මාතර අපිට ඕනෑම තරම් වේලාව තිබිණි. අපි සැපට කෝච්චියේ වාඩි වෙලා යනකොට අනිත් ගම්වල උදවිය කෝච්චියට නගින්න පොරකන එක බලාගෙන ඉඳීම අනුකම්පාවක් මෙන්ම විනෝදයක්ද ගැබ් වූ අත්දැකීමක් විය. කොළඹ, නුවර, අනුරාධපුර, වවුනියා වැනි ඕන දුරගමනක් ගිය මාතර ඇත්තන්ට ජීවිතේට කෝච්චියේ හිටගෙන යන්න වුනේ නැත්තේ ඒ හැම කෝච්චියක්ම මාතරින් පටන් ගත් නිසාය.

නමුත් දැන් අවසානයේදී මාතර කතරගම දුම්රිය මාර්ගය ලහි ලහියේ ඉදිවෙමින් පවතී. මූලික අදියර යටතේ බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන් තව වසරකින් පමණ ආරම්භ කිරීමට නියමිතය. මාගේ පියාගේ ගම වූ බෙලිඅත්තටත්, හදිසියකට බාර වෙන්න කතරගමටත් කෝච්චියේ යන්න ලැබීම ගැන මට අවංකවම සතුටුය. නමුත් ඉන් පසු වෙරළබඩ දුම්රිය මාර්ගයේ කෙළවර යන නම්බුනාමය මාතරට නොලැබී යාම ගැන මට දුකක් ද ඇත. මාතරින් ආරම්භ වුණු දුරගමන් දුම්රියත් බෙලිඅත්තෙන් හෝ කතරගමින් ගමන් ආරම්භ කළහොත් ඉස්සරහට අපිට මාතරදී කෝච්චියෙන් බහින්නත් කෝච්චියට නගින්නත් පොරකන්නටත් සිදුවනු ඇත. දුම්රිය ගමන් මාතරින් පටන් ගත් සහ අවසන් වුණු සමයේ අපි කුඩා කළ ලැබූ අපූරු විනෝදය අපේ දරුවන්ට අහිමිවනු ඇත.

මට තියෙන ලොකුම බය මාතරට අභිමානයක් මෙන්ම සංකේතයක් බඳුවූ රුහුණු කුමාරියත් මාතරින් ඈතට තල්ලු කරයිදෝ යන සැකයයි. අපි හැමදාම වාඩිවෙලා ගිය රුහුණු කුමාරියේ හිටගෙන යන්න වුණොත් එතරම් නව නිංගිරාවක් අපට නැත.

මොනවා වුනත් රටේ සංවර්ධනය සහ හම්බන්තොට ජනතාවගේ පහසුව සමඟ සැසඳූ විට සිදුවන අපහසුතාවය අමතක කොට අලුත් කෝච්චි පාර ගැන මාතර ඇත්තෝ සතුටු වන බව 100% ක් විශ්වාසය. ඒක අපේ මාතර ගතියය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2016 Jan – Mar

සරළ සුන්දර මාතර

nirman matara sinhalapediaදිනක් ගාල්ලේ පැවති විවාහ උත්සවයකට සහභාගී වී නැවත මාතර බලා මා පැමිණියේ මාගේ නිවස ආසන්නයේ අළුතින් පදිංචියට පැමිණි වෛද්‍යවරයෙකු සමඟ ඔහුගේ වාහනයේය. මාතර අපි කා සමඟ හෝ එකට ගමන් කරන විට කට පියාගෙන යාම ඉතාමත් අපහසුය. බසයේ වේවා දුම්රියේ වේවා, ලඟින් වාඩිවී සිටින ඕනෑම නාඳුනන පුද්ගලයෙකු සමඟ ගජ මිතුරන් සේ කතාවට වැටීමට මාතර අපි රුසියෝය. ඒ මාතර අපි එතරම්ම මිත්‍රශීලී නිසායය. මාතරකම නිසාදෝ මමත් සුළු මොහොතකට පසු එදින පළමු වරට මුණගැසුණු නව අසල්වැසියා සමඟ බරටම කතාවට වැටුණේය.

“ඩෙක්ටර්ගෙ ගම මාතරමද?” මම කතාව ආරම්භ කළෙමි.

“නෑ මම ගාල්ලට ටිකක් එහා”

“එහෙනම් පළමුවෙනි පත්වීම හම්බවෙන්න ඇත්තෙ මාතරට”

“නෑ මම කැම්පස් ගියේ කරාපිටියේ, පළමුවෙනි පත්වීමත් ගාල්ලට තමයි ලැබුණේ.”

ගාල්ලේ ඉපදී, ගාල්ලේම විශ්ව විද්‍යාලයේ ගොස්, ගාල්ලේම රැකියාව කළ පුද්ගලයෙක් මාතරට පදිංචියට පැමිණීම මට පුදුමයක් විය.

“එහෙමනම් වයිෆ් මාතර වෙන්න ඇති.” සැකය දුරුකර ගැනීමේ අටියෙන් මම ඇසුවෙමි.

“නෑ වයිෆ්නුත් ගාල්ලෙම තමයි. අපි දෙන්නම වැඩ කළේ ගාල්ලෙ.”

“එහෙනම් මාතර පදිංචියට ආවෙ.” මම ඇසුවේ විශාල විශ්මයාර්ථයක් සහිතවයි. එයට ඔහු ලබා දුන් පිළිතුර ඉතාමත් අපූරු එකකි.

අපි ඉස්කෝලෙ ගියේ ගාල්ලෙ ටවුන් එකට ගොඩක් ඈත. විශ්ව විද්‍යාලයේ යන කාලෙ තමයි කරාපිටියටත්, ගාල්ල නගරයටත් පැමිණියේ. රැකියාව කරන කාලෙ ගෙයක් හදන්න තීරණය කළාම මමයි නෝනයි දෙන්නම සාකච්ඡා කළා ගෙයක් හදලා අපි පදිංචියට යා යුත්තේ කොහාටද කියලා.

“අපි ගාල්ලෙ උනාට කැම්පස් හිටිය කාලෙ අපි දෙන්නටම ගාල්ල එපා වෙලා හිටියෙ. ගාල්ල නගරය කිසි පිළිවෙළක් නෑ. හදිසියකට වැඩක් කරගන්න ඉතාමත් අමාරුයි. කොළඹ ගත්තම ඉතාමත් අධිවේගී සංකීර්ණ නගරයක්. ළමයි හදලා ලොකු මහත් කරන්න කොළඹ තියෙන්නේ හොඳ සංස්කෘතියක් නොවෙයි.”

“අපි අපේ යාළුවන්ගේ ගෙවල් වල යන්න නිතර මාතර ඇවිත් තිබුණා. එහිදී අපිට තේරුම් ගියපු කාරණයක් තමයි මාතර කියන්නේ ඉතාමත් සරළ නමුත් දියුණු නගරයක් කියන එක. දරුවෙක් හදලා ලොකු මහත් කරන්න මාතර තියෙන සරළ සංස්කෘතිය තරම් හොඳ සංස්කෘතියක් ලංකාවෙ කොහේවත් නෑ.”

“මාතර නගරයේ හැමෝගෙම මූලික අරමුණ තමන්ගේ දරුවන්ට ඉගැන්වීම. ඉස්කෝල ගත්තත් ටියුෂන් ගත්තත් ඒ දෙඅංශයෙන්ම මාතර අධ්‍යාපනය අතින් හැම නගරයකටම වඩා දියුණුයි. අනිත් එක මාතර නගරයත් හරි පොඩියි. නමුත් ඒ සරළ නගරය ඇතුළේ අපට අවශ්‍ය සෑම දෙයක්ම වාගේ තියෙනවා. ඒ වගේ පොඩි නගරයක එච්චර පහසුකම් තියෙනවද කියල හිතාගන්නත් අමාරුයි. ඉතිං මමයි නෝනයි දෙන්නම තීරණය කළා අපි අපේ දරුවො වෙනුවෙන් ජීවත් වෙන්න තෝර ගන්න ඕන හොඳම නගරය මාතරයි කියලා.”

ඔහුගේ එම වදන් අසා සිටි මට ඉතාමත් ආඩම්බරයක් හා සතුටක් දැණුනි. මාතර හොඳ මාතර අපිම කියා ගන්නවාට වඩා මාතරට පැමිණි අමුත්තෙකුගේ මුවින් එය අසන්නට ලැබීම පුදුමාකාර ආඩම්බරයකි. ඔහු පැවසූ වදන් සියයට සියයක්ම සත්‍යයි. මාතර කොළඹ තරම් නාගරික නැත. දැවැන්ත ගොඩනැගිලි නැත, නුවර බදුල්ල තරම් දර්ශනීය ස්ථාන, දියඇලි මාතර නැත. මාතර ඇති සුන්දරත්වය නම් මාතර ඇති සරළ බවමය. ගාලු පාර දෙපස විහිදී ගිය කුඩා නගරයක් වුවද අපිට අවශ්‍ය සෑම දෙයක්ම මාතර ඇත. නගරයෙන් මදක් ඔබ්බට ගිය සැනින් ඇත්තේ නාගරීකරණයෙන් තොර ජීවත් වීමට ඉතාමත් සුදුසු ග්‍රාමීය පරිසරයයි.

සරළ මාතර තවත් සුන්දර වී ඇත්තේ එහි ජීවත් වන සරළ සුන්දර මිනිසුන් නිසාය. අදට වසර පහක් සපිරෙන “මාතර Today” සඟරාව පිළිගැන්වෙන්නේද එම සරළ සුන්දර මාතර මිනිස්සුන්ටය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2015 Sep – Dec

මාතර කැක්කුම සහ මාතර Today

nirman matara sinhalapediaමාතර අයට මාතර පිළිබඳව තිබෙන්නේ පුදුමාකාර කැක්කුමකි. වෙන අය මෙන් නොව මාතර උදවිය ලෝකෙ කොහේ ගියත් ගම මාතර යැයි පැවසීමට නොපැකිලෙන්නේ මෙම මාතර කැක්කුම නිසාය. එහෙමත් නැත්නම් මාතර උණ නිසාය. වෙන අය බොරුවට ‘අපි කොළඹ’ යැයි පැවසුවත් මාතර අය නම් කටපුරා අපි මාතර යැයි කියන්නේ පුදුමාකාර ආඩම්බරයකිනි. මාතර අයට ලෝකෙ කොහේ ජීවත් උන්ත්, මාතර තරම් වැටිලා ඉන්න හොඳ තැනක් මේ මිහිපිට තවත් නොමැත.

මාතර කැක්කුම පිළිබඳ මා මෙතරම් කතාකරන්නේ මාතර Today සඟරාවත් මාතර කැක්කුමත් අතර ඇති පුදුමාකාර සම්බන්ධතාවය නිසාය. සැබවින්ම මාතර Today යනු මාතර කැක්කුමෙන් උපන් ප්‍රතිඵලයකි. ඒ ප්‍රාදේශීය පුවත්පත්  ශ්‍රී ලාංකිකයන්ට සිහිනයක් වූ සමයක මාතර Today සඟරාව බිහිවීමට ධෛර්ය ලබා දුන්නේද අප තුළ තිබූ මාතර කැක්කුම නිසාය.

දිගු නිහැඬියාවකට පසු නැවතත් මාතර Today එළි දකින මෙම සතුටුදායක මොහොතේ දරාගත නොහැකි ශෝකයක් ද ගැබ් වී තිබේ. ඊට හේතුව මාතර Today ආරම්භයේ සිටම මාතර Today වෙනුවෙන් ලිපි සපයමින් සෑම මාතර Today සඟරාවක් වෙනුවෙන් දාඩිය හෙළු පසන් රාමවික්‍රම නම් ඒ සුන්දර මිනිසා අප අතරින් වෙන් වීමයි. මා දුටු මිනිසුන් අතරින් මාතර ගැන ලොකුම කැක්කුමක් තිබුණේ පසන් රාමවික්‍රමටයි. කීර්තිමත් මාධ්‍යවේදියෙකු හා ඉතාමත් අව්‍යාජ, නිහතමානී ගති පැවතුම් තිබූ පසන් රාමවික්‍රමගේ මුළු ජීවිතයම වූයේ මාතරයි. මාතර Today සඟරාව නැවත මුද්‍රණය නොකෙරී තිබුණු සමයක සඟරාව නැවත මුද්‍රණය කරන ලෙසට අප හට වැඩිපුරම බල කළේ පසන් ය. සඟරාව මුද්‍රණය නොකලද මාතර පිළිබඳව  විවිධාකාර ලිපි රැගෙන නිරන්තරයෙන් මා හමුවීමට ඔහු පැමිණියේ සඟරාව නැවත මුද්‍රණය කිරීමට මා ධෛර්යමත් කිරීමටය. හදිසි අනතුරකින් ඔහු මියයාමට පෙර දිනයේද අහම්බෙන් මහදී හමු වූ පසන් මට පැවසූ අන්තිම වදන වූයේද, “මිස්ට නිර්මාන් අපි කොහොමහරි පත්තරේ කරමු” යන්නයි.

දිගු නිහැඬියාවකට පසු නැවතත් මාතර Today මෙලෙස එළි දකින්නේ සැබවින්ම පසන් රාමවික්‍රම තුළ තිබූ මාතර කැක්කුමේ ප්‍රතිඵලයක් ලෙසය. මාතර Today සඟරාව ගැන මටත් වඩා කැක්කුමක් තිබූ පසන් රාමවික්‍රම නම් ඒ අව්‍යජ මිනිසාට මෙවර මාතර කලාපය මම පුද කර සිටිමි.

පසන් වැනි මාතරට ආදරය කරන මාතර ගැන කැක්කුමක් තියෙන මිනිසුන් සිටින තාක්කල් මාතර Today සඟරාව ද ජීවමාන වනු ඇත.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2015 April – June

සර්වඥ ධාතූන් වන්දනා කිරීමේ සැබෑ අරුත

393219_531630836854507_1996829829_nමාතර Today සඟරාව ආරම්භ කර වසර 2 ක් සපිරෙන මොහොත මාතර නගරට තවත් ඉතා ප්‍රීතිමත් පින්වත් දුර්ලභ භාග්‍යයක් උදා විය. ඒ ඉන්දියාවේ සිට බුදුරජාණන් වහන්සේගේ කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මාතරට වැඩම කරවීම නිසාය. දින තුනක කාලයක් සැදැහැවතුන් මිලියනයකට අධික පිරිසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට තරම්. වාසනාවන්ත වූහ.

සැතපුම් ගණනක් දික් වූ පෝළිම් වල සිට සැදැහැවත් බෞද්ධයෝ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්හ. නමුත් මෙහි තිබූ සුවිශේෂීම අංගය වූයේ විවිධ තරාතිරම් වල අයට විවිධාකාර පෝළිම් දකින්නට ලැබීමය.

සාමාන්‍ය දුප්පත් ජනතාව සැතපුම් කිහිපයක් අවුව – වැස්ස නොබලා පෝළිමේ පැමිණිය යුතුව තිබිණි. මාතර නගරයේ යමක් කමක් කළ හැකි පවුල් වල උදවියටත්, විවිධ ආධාර ලබා දුන් උදවියටත් VIP අවසර පත් ලැබිණි. සුපිරි ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන්ගේ පවුල් සඳහා VVIP පෝළිම හෙවත් අමුතුම පෝළිමක්  ද විය.

එක් එක් පුද්ගලයන් පෙර කර ඇති කුසල් අනුව මේ ආකාරයෙන් පහසුවෙන් ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ලැබීම සාමාන්‍ය දෙයකි. නමුත් ලොව අනෙක් ආගම් වල මෙවැනි අවස්ථාවලට සම්බන්ධ වන්නේ තම තරාතිරම කුමක් වුවත් සියළු දෙනාම එකා මෙන්ය. මීට හේතුව පූජනීය වස්තූන්ට වැඳුම් පිදුම් කිරීමෙන් ආනිසංස ලැබෙන්නේ ඒ පිළිබඳව ඇති ශ්‍රද්ධාව නිසා මිස දෑත් එකතුකර එයට වැඳීමෙන් නොවන නිසාය.

ඇතැම් අය පවසා සිටියේ තමන් පැය ගණනක් පෝළිමේ සිටියත් හරියට ධාතූන් වහන්සේ දැක ගැනීමටවත් අවස්ථාවක් නොලැබුණු බවය. ඇතැම් රෝගාතුර පුද්ගලයන් සහ පෝළිමේ යන්නට අමාරු වයසක උදවිය තමන්ට බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට තිබූ අවස්ථාව නොලැබී යාම ගැන ශෝක වේ. නමුත් එය එතරම්ම කණගාටු නොවිය යුතු කාරණයක් විය යුතු නොවන්නේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දිවයින පුරාවැඩ වාසය කරන බැවිනි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ මහනුවර දළදා මාළිගාවෙහි ය. මහියංගනය චෛත්‍යයෙහි බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් ද, මාතර සිට කිලෝ මීටර් 100 ක් පමණ දුරින් පිහිටි තිස්සමහාරාම චෛත්‍යයෙහි බුදුරජාණන් වහන්සේගේ වටිනාම ධාතූන් වහන්සේ වන ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටී. එම චෛත්‍යයේම වැඩ සිටි දන්ත ධාතූන් වහන්සේනමක් පසු කාලීනව සෝමාවතිය චෛත්‍යට වැඩම කරවා ඇත. මාතරට සමීයෙන්ම පිහිටා ඇති තිස්සමහාරාමයත්, කතරගම කිරිවෙහෙරත් බුද්ධ සිරිපා ස්පර්ශය ලබූ මහා පින්බිම්ය. තිස්සමහාරාම චෛත්‍යය වෙත ගොස් කාවන්තිස්ස රජතුමා විසින් ගොඩ නැගූ මුල් චෛත්‍යයේම පාදම මත හිස තබා ඔබ ලලාට ධාතූන් වහන්සේ වැඳ නමස්කාර කරයි නම් එය හරියටම බුදුන් වැඩ සිටි තැනටම ගොස් උන් වහන්සේගේ ශ්‍රී පාද නමස්කාර කළා යැයි යන හැඟීමක් යැයි මට නම් හැඟේ. මේ නිසා කපිලවස්තු ධාතූන් පිදීමට හරි හැටි අවස්ථාවක් නොලද ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් ශ්‍රද්ධාවෙන් තිස්සමහාරාමය පිදිය හැකිය.

පුලීනථුපිය තෙරුන්වහන්සේගේ කතා පුවත අපට වැදගත් කතාවක් ගෙනහැර පායි. බුදුවරයෙක් පහළ නොවූ කාලයක “නාරද” නැමති ආගමික නායකයෙක් ලෙස හිමාල ප්‍රදේශයේ උපන් පුලීනථුපිය මහරහතන් වහන්සේට අනුගාමිකයෝ රාශියක් වන්දනා මාන කළහ. දිනක් මෙම නාරද නම් තාපසයාට කල්පනා වූයේ සියළු දෙනාම තමාට නමස්කාර කරන ආකාරයෙන්ම තාමටද තමාට වඩා උසස් පුද්ගලයෙකුට වැඳ නමස්කාර කළ හැකිනම් වටීය යන්නයි. මේ සඳහා ගැලපෙන කෙනෙක් ඔහුට කල්පනා නොවූ නමුත් ලොව කලින් කළ සම්මා  සම්බුදුවරයන් සියළු කෙළෙසුන් නසා බුදු බව ලබන බව ඔහු අසා තිබිණි. තමා සිටි ස්ථානයට ආසන්නයෙන් ගලා ගිය නදිය සමීපයට ගිය නාරද තවුසා දෑතින් වැලි ගොඩ ගසා දාගැබක ආකාරයෙන් සකස් කර මෙම දාගැබ එම අනන්ත ගුණ සහිත සම්මා සම්බුදුවරයන්ට පූජා වේවා යැයි ප්‍රාර්ථනා කර වැඳ නමස්කාර කළේය. සම්මා සම්බුදුවරයන්ගේ ධාතූන් වහන්සේලා මෙම දැගැබෙහි වැඩ වාසය කරනවායැයි ප්‍රාර්ථනා කළ ඔහු මිය යන තෙක්ම එම දාගැබ වටා අතු ගා පිරිසිදු කර පුද පූජා පැවැත්වීය. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ නැවත උපත ලැබූ මෙම නාරද නම් තවුසා ඉහත තමා කළ පුණ්‍ය ක්‍රියාව හේතුවෙන්ම බුදුරජාණන් වහන්සේ දැක බණ ඇසීමටත් පළමුව තම දෙමාපියන් විසින් බුදුරජාණන් වහන්සේ ගැන පවසන දෑ අසා ඒ ගැන පැහැදී වයස අවුරුදු හතේදීම ගිහිගෙය තුළදීම රහත්භාවය ලැබීමට තරම් වාසනාවන්ත විය. පසුව පුලීනථුපිය මහරහතන් වහන්සේ ලෙස ප්‍රසිද්ධියට පත් එම තෙරුන් වහන්සේට තම දෑතින් චෛත්‍යයක් ගොඩනගා එදා කළ ප්‍රාර්ථනය නිසා පූර්වනිවාසානුස්මෘති ඥාණය ද ලැබීය. එම ඥාණයේ බලයෙන්ම තම පෙර ආත්මභවයේ තමා කළ මෙම කුසලට වැදෑරූ පුලීනථුපිය මහරහතන් වහන්සේ පවසා සිටියේ “අවන්ක ශ්‍රද්ධාවෙන් යම් අයෙක් බුදුන් වඳින්නේනම් එයට අවශ්‍ය වන්නේ ධාතූන් වහන්සේලා නොව තමා තුළ තිබෙන ශ්‍රද්ධාව පමණක් වන බවයි. එය මහා සැප සම්පත් ලබා දෙන කුසලයක් වන නමුත් එම සැප සම්පත් බලාපොරොත්තුවෙන්ම යමෙක් ධාතූන් වහන්සේලා වැඳ නමස්කාර කරයි නම් එම කුසලයෙහි එතරම්ම ආනිසංස නොමැති බවත්, පුලීනථුපිය මහරහතන් වහන්සේ වදාරා ඇත.”

පුලීනථුපිය මහරහතන් වහන්සේගේ කතා පුවතින් අපට පෙනී යන්නේ කුසලය රඳා පවතින්නේ වෙන කිසිඳු සාධකයක් මත නොව තමා තුළ ඇති ශ්‍රද්ධාව නිසාම පමණක් වන බවයි. අපි පා ගමනින්ම ගොස් සිරිපා වන්දනා කරන්නේ, යාපනයේ දමිළයන් පා ගමනින්ම කතරගම දෙවියන් නැමදීමට පැමිණෙන්නේ මෙම ශ්‍රද්ධාව නිසයි. මේ නිසා අව්ව – වැස්ස නොබලා තෙරපෙමින්, අසීරුවෙන් කපිල වස්තුපුර ධාතූ වන්දනාමාන කළ පුද්ගලයා ලැබූ ආනිසංස මහත්ය. එසේ ධාතු වන්දනාවේ යන සැදැහැවතුන්ට නන් අයුරින් සංග්‍රහ කළ වැසිකිළි පහසුකම් ආදිය ලබා දුන් දානවන්තයන්ද ඒ හා සමානම මහත්ඵල වූ ආනිසංස ලබා ඇත. මෙම බල පුළුවන්කාර කමින් හෝ හොරෙන් පෝළිම මැදට රිංගා ධාතූන් වහන්සේ වන්දනාමාන කළ අය කොතරම් අකුසලයක් රැස් කර ගත්තේ දැයි ඔවුන් කල්පනා කර බැලිය යුතුය. බෞද්ධයන් සැම විටම මතක තබා ගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වා ඇත්තේ කුසල් – අකුසල් ආදී සෑම කර්මයකටම එකම හේතුව වන්නේ අපගේ චේතනාව පමණක්ම වන බවය.

VIP යනු Very Important Person යන අර්ථයයි. මට තේරෙන ආකාරයට නම් මෙවැනි සර්වඥ ධාතු ප්‍රදර්ශනයක දී VIP ප්‍රවේශයක් ලබා දිය යුතු වන්නේ වයස අවුරුදු 60 ට වඩා වැඩි, විවිධ රෝගබාධ නිසා පෝළිමේ පයින් යා නොහැකි පුද්ගලයන්ට වන බවයි. අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලා ඉදිරිපිට අන් සියළු දෙනාම පෘථග්ජන බෞද්ධයන් ය.

බුදුරජාණන් වහන්සේ ධාගැබ් ඉදිකර තම සර්වඥ ධාතූන් වහන්සේලාට වන්දනාමාන කිරීම සඳහා අවසර ලබා දුන්නේ සර්වඥ ධාතූන් වහන්සේලා වඳින සැදැහැවතුන් තුළ ඇතිවන බුද්ධාලම්භන ප්‍රීතිය නිසා ඔවුන් තව තවත් කුසල් රැස් කිරීමට පෙළඹෙන බැවිනි. මෙම නිසා ඔබ අඩුම තරමින් පස් පවින් වත් වැළකෙන්නේ නැති නම් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දමාන කළ පමණින් ඔබට සෙත සැලසේ යැයි යමෙකු සිතයි නම් එය මෝහයේ ලක්ෂණයකි. සර්වඥ ධාතූන් වහන්සේලා වැඳීමට පොරකන සැදැහැවතුන් අට සිල් කෙසේවෙතත් අඩුමින් තරමින් පන්සිල්වත් රකීනම් තමා කළ ක්‍රියාවෙහි ආනිසංස ලැබිය හැකිය.

කළාතුරකින් වැඩම කරවිය හැකි කපිලවස්තු ධාතූන් වහන්සේලා ලක්දිවට වැඩම කරවීමට පියවර ගැනීම පිළිබඳව ජනාධිපති තුමාට අපගේ ගෞරවය පුදකරමු. එම අවස්ථාවෙන් කොටසක් මාතර නගරයටද ලබා ගෙන එම වැඩ සටහන අලංකාරව සංවිධානය කළ කොටිකාගොඩ රජමහා විහාරාධිපති වහන්සේටත්, ඒ වෙනුවෙන් අවන්ක ශ්‍රද්ධාවෙන් දිවා රෑ වෙහෙසී වැඩ කළ සැමදෙනාටත්, සියළුම ශ්‍රද්ධාවන්ත පින්වතුන් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඳ රැස් කර ගත් සියළුම කුසල් අනුමෝදන් වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2012 Sep – Dec

 

සම්බුද්ධත්ව ජයන්තියට පසු…

බුදු දහම යනු මීට වසර 2600 කට ඉහත බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මයකි. ඇතමෙක් මෙය ආගමක් ලෙස හැඳින් වුවද මා දන්නා විද්‍යාව අනුව බුද්ධ දර්ශනය යනු නූතන විද්‍යාවටත් ඔබ්බට ගිය විශය ක්ෂේත්‍රයකට සීමා නොවූ මුළු විශ්වයේම ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන පරිපූර්ණ විද්‍යාවකි.

තේරවාද බුදු දහමේ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව සැලකෙන්නේ බුදුන් උපන් දේශයෙන් පවා බුදු දහම වියකී යන විට එය දිවි හිමියෙන් රැක ගත්තේ සිංහලයන් වූ බැවිනි. මේ සඳහා ප්‍රධානතම කරතව්‍යක් සිදු කළේ අපගේ සංඝයා වහන්සේ විසිනි.

අන්තවාදී අන්‍ය ආගමික බලවේග විසින් අපගේ බුදු දහම විනාශ කරන බවට මේ දින විශාල කතා බහක් ගොඩ නැගී ඇත. ඇතැම් බෞද්ධයන් සහ භික්ෂූන් මෙයට විරුද්ධත්වය පළකරමින් රූපවාහිනී කැමරා ඉදිරි පිට යටිගිරියෙන් කෑමොර දෙන්නේ ඔවුන් දිවි පුදා බුදු දහම බේරා ගන්නා බවට සපත කරමිනි.

නමුත් අපගේ බෞද්ධයන් වටහා නොගත් සත්‍ය වන්නේ යමක් විනාශ කිරීමට වඩාත් පහසු වන්නේ පිටත සිටින සතුරාට නොව ඇතුලත සිටි මිතුරාටය යන කාරණයයි. ශ්‍රී ලංකාවේ තේරවාදී බුදු දහම අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට නොව ඉතිරි වී ඇති බුදු දහම ඉදිරියට පවත්වාගෙන යෑමට වත්මන් සංඝ ශාසනයට කොතරම් හැකියාවක් ඇතිද යන්න මේ නිසා පළමුව විමසා බැලිය යුතුය. මෑතකදී මහාචාර්ය සරත් විජේසූරිය මහතා මේ පිළිබඳ කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක් විය.

මාගේ පුද්ගලික මතයක් වන්නේ ශාසනය රැකීමට භාරගත් සංඝයා වහන්සේලා බහුතරයක් නිසා අද වන විට ශාසනය විශාල පරිහානියකට ලක් වී ඇති බවයි. අද බහුතරයක් වූ සංඝයා වහන්සේලාගේ හැසිරීම සාමාන්‍ය ගිහි ජීවිතයක විනයෙනුත් ඔබ්බට ගිය ජීවිත බවට පත් වී ඇත. මේ පිළිබඳ මා තර්ක නොකරන්නේ මේ සියල්ල සඳහා ඕනෑ තරම් උදාහරණ පුද්ගලිකවම දන්නා බැවිනි. නමුත් මේ පිළිබඳ අද සමාජයේ කතා කිරීම පවා බෞද්ධ විරෝධියෙක් ලෙස හෝ “ජාත්‍යන්තර බලවේගයක අතකොළුවක්” ලෙස හංවඩු ගැසීමට ප්‍රමාණවත්ය.

බුදු දහම වෙනුවෙන් අපිරිමිත සේවයක් කළ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මාහිමිපාණන් අපවත් වීමට ප්‍රථම ප්‍රධාන පෙළේ සංඝයා වහන්සේ පිරිසක් සමඟ වූ සංවාදයකදී යෝජනා කර තිබුණේ ධර්ම සංඝායනාවක් නැවත සිදු කළ හැකි නම් ඉතා යෝග්‍ය බවයි. මෙහිදී අනෙක් සංඝයා වහන්සේලා පෙන්වා දී ඇත්තේ අවසන් ධර්ම සංඝායනාවෙන් පසු නැවත ධර්ම සංඝායනාවක් සිදු කිරීමට තරම් ධර්ම පරිහානියක් සිදු වී නොමැති බැවින් වර්ථමානයේ එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි. නමුත් පිරිහී යන සංඝ සමාජය සුරැකීමට සංඝයා වහන්සේලාගේ විනය සංඝායනාවක් ඉක්මනින් සිදු කළ යුතු බවත්ය. මෙහිදී මදහසක් පෑ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් වදාරා තිබුණේ තමන් වහන්සේටද සැබවින්ම අවශ්‍ය සංඝ විනය සංඝායනාවක් සිදු කිරීම නමුත් තමන් වහන්සේ එසේ පැවසීම වුවද වර්ථමාන සංඝ සමාජයේ ආන්දෝලනාත්මක ගැටළුවකට හේතුවක් වන බැවින් මෙය ධර්ම සංඝායනාවක් ආකාරයෙන් ඉදිරිපත් කළ බවයි. මින් පැහැදිලි වන්නේ උන්වහන්සේ වුවද සංඝයා වහන්සේලාගේ විනය සංශෝධනයක් පිළිබඳ ඝෘජුව කතා කිරීමට බිය වූ බවයි.

වර්ථමාන සංඝ සමාජයේ විවිධ හාමුදුරුවරුන් සිටිති. මොවුන් සමහරක් ටියුෂන් හාමුදුරුවන්ය. ඇතැමුන් රූපවාහිනී හා පුවත් පත් දැන්වීම් පළකරමින් වශී ගුරුකම් සහ සාත්තර කියන ගුරුන්නාන්සේලාය. ව්‍යාපාරික සංඝයා වහන්සේලාද ශාසනයේ බහුලය. මා දන්නා එක් හිමි නමකගේ ප්‍රධාන ව්‍යාපාරය දායකයන්ගේ මුදලින් තායිලන්තය වැඳ පුදා තායිලන්තයේ සිට සිවුරු පාත්‍ර ආනයනය කිරීමයි. ඇතැම් පන්සල් සතු දේපල සම්පූර්ණයෙන් පාලනය වන්නේ එහි නායක හිමිවරුන්ගේ සිතැඟි පරිදිය. පන්සලට ලැබෙන ආදායමට සිදු වන්නේ කුමක් දැයි පොඩි හාමුදුරුවන් වත් දන්නේ නැත. නායක හාමුදුරුවෝ හිතවත් කර ගත හැකි නම් බොහෝ පන්සල් වලින් පොඩි ගානක බද්දට ඉඩම් අක්කරයක් වුවද ගත හැකිය. වර්ථමාන මාතර නගරයේ වුවද ඇතැම් පන්සල් වල ඉඩම් පර්චස් ගානට “බද්දට” දී ඇත.

තවත් චීවරධාරීන් පිරිසක් විවිධ රටාවලින් බණ කියමින් ශ්‍රාවක් සිත් දිනාගෙන වර්ථමානයේදී එක් බණක් කීමට රුපියල් 25,000 ක් 50,000 ක පමණ මුදලක් අය කරති.  මෙසේ ප්‍රසිද්ධ වන හාමුදුරුවරුන් අවසානයේ නතර වන්නේ පාර්ලිමේන්තුවේ හෝ “සෝවාන් ඵලය” අවබෝධ කර ගත්තා යැයි පවසමින්ය. වර්ථමාන පිරිවෙන් බහුතරයක් මේ වන විට සුපිරි “ටියුෂන් සෙන්ටර්” වී හමාරය. මෙම ඇතැම් ස්ථාන වල “කාඩ් මාර්ක්” කරන්නේ පොඩි හාමුදුරුවරුන්ය. ඇතැම් ධනවත් පන්සල් වල නායක හිමි වරු ගමට ධර්ම දානය දී අවසන් කොට ගමම සුඛිත මුදිත කොට පන්සලේ දේපල විකුණමින් සින්ගප්පූරුවේ හෝ ඇමරිකාවේ “ධර්ම ප්‍රචාරය” පිණිසම ඒවායේ පන්සල් තනති.

ඉහත වර්ගයේ හිමි වරුන් සිටින්නේ කොටසක් පමණි. අවන්ක චේතනාවෙන්ම ධර්ම දානයෙහි යෙදෙන, කිසිදු ලෞකික පරාමාර්ථයක් නැති හිමිවරුන් රාශියක් පිළිබඳ මා අසා ඇත. හමුවී ද ඇත. නමුත් ඔවුන් පරයා සමාජයේ විද්‍යාමාන වන්නේ ඉහත සඳහන් කළ සුළු චීවරධාරී පිරසය. යම් කිසි හිමිනමක් අවන්කව ධර්ම දානයේ යෙදේනම් උන්වහන්සේට මුහුණ දීමට ඇති බාධක අනන්තය.

කිසිදු වංචනිකයකුට ඔහු වටා එක් රැස් වන පිරිසක් නොමැති නම් තම වංචාවන් සාර්ථකව පවත්වාගෙන යාමට නොහැකිය. ඉහත වංචනික චීවරධාරීන් පෝෂණය කරන්නේ ඔබත් මාත් නියෝජනය කරන දායක දායිකා සමාජය විසින්ය. එහි ඉදිරියෙන්ම සිටින්නේ ධනවත් කාන්තාවන්ය. එවන් චීවරධාරීන්ගේ බලය නිසා ඔවුන් වටා දේශපාලන බලය, නීතිය වටවී සිටී. ප්‍රධාන පෙලේ උත්සව හා පිංකම් සඳහා ආරාධනා ලැබෙන්නේ එවන් “ප්‍රසිද්ධ චීවරධාරීන්ට” විනා සිල්වත් සංඝයාවහන්සේට නොවේ. ඇතැම් රූපවාහිනී නාලිකා මෙවැනි වංචනිකයන්ගේ ගජ මිතුරන්ය.

ඉහත ක්‍රියාකළාපයන් සමස්ථ බෞද්ධයාගේම ආගමට ඇති කැමැත්ත සහ නැඹුරුව අඩු කිරීමට ප්‍රමාණවත්ය. මෙය දකින තරුණ සමාජයද පැවිදි ජීවිතයට එක් වන්නේ එහි නියම අරුතින් නොවේ. මෙය බුදු දහමේ සුරක්ෂිත අනාගතයට ඇති ප්‍රධානතම තර්ජනයයි.

මේ පිළිබඳ හඬකි නැගීමට උවමනාවක් ඇති අයට වුවද ශ්‍රී ලංකාවේ ඇත්තේ සුබදායී පරිසරයක් නොවේ. බෞද්ධයන් රාශියක් තම ආගම හෝ ධර්ශනය අදහන්නේ කිසිදු මූලික අවබෝධයකින් තොරවය. ගමේ පන්සල ලස්සනට හා ලොකුවට තිබේ නම් ලොකු හාමුදුරුවෝ තමාට හිතවත් නම් ඒ ප්‍රමාණවත් යැයි ඔවුන් සිතති. අද 365 දවසේම 24 පැයේම බණ ඇසීම ඇතැම් විලාසිතාවක් කර ගෙන ඇත. තවත් අයට තමත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් බව පැවසීමද විලාසිතාවක් වී ඇත.

ඉහත කාරණය පිළිබඳව වර්ථමානයේ නිර්භයව අදහස් පළකරන අය සීමිතය. ඒ අතරින් නෙත් එෆ් එම් ආයතනය , මාදුළුවාවේ සෝභිත හිමි සහ මහාචාර්ය සරත් විජේසූරියට බුදු සසුනේ අනාගතය වෙනුවෙන් මාගේ නමස්කාර පූර්වක ස්තුතිය මම පිරිනමමි. ඇතැම් රූපවාහිනී නාලිකා වල බෞද්ධ සංවාද වපත්වමින් “පණ්ඩිත” යැයි කියා ගත් පිරිසක් වත්මන් බුදු සසුනේ වර්ධනය ශ්‍රාවකයන්ගේ බෞද්ධ පිබිදීම පිළිබඳව කයිවාරු ගසන වැඩසටහන් හාස්‍ය ජනකය.

මහානායක හිමිවරුන් යනු මෙරට සංඝ සමාජයේ නායක හිමිවරුන්ය. එනම් තේරවාදී බුද්ධ ශාසන අනාගතයේ තීරණාත්මක සාධකයකි. නමුත් වත්මන් මහානායක හිමිවරුන් තමන් වහන්සේ හමුවීමට පිරිකර හිස මත තබා පැමිණෙන ඕනෑම දේශපාලන පක්ෂයක ඕනෑම තරාතිරමක දේශපාලඥයෙකුට ආශිර්වාද කොට පිරිත් නූල් ගැටගැසීමත් එම ජවනිකා රූපවාහිනී නාලිකා රාත්‍රී පුවත් වල විකාශනය වීමටත් අමතරව ශාසනයේ නියම අභිවෘද්ධිය පිණිස හෝ ආරක්ෂාව පිණිස කිසිදු වැදගත් කමක් සිදු කරයිද යන්න මා නොදනිමි. මහානායක හිමිවරුන්ය ශාසන ගැටළු පිළිබඳ අවංක වුවමනාවක් නැතිද? නැති නම් විවිධ බලවේග නිසා සංඝශාසනයේ ප්‍රශ්න වලට මැදිහත් වීමට මහානායක හිමිවරුද බියද? යන්න ගැටළුවකි.

වර්ථමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යනු නියම සිංහල බෞද්ධ උරුමයක් ඇති සිංහල ජාතිය සහ බුදු දහම පිළිබඳ අවංක නායකයා ලෙස මම දකිමි. මා එසේ ප්‍රකාශ කරන්නේ කිසිදු දේශපාලන කෝණයකින් නොවෙයි. එබැවින් රටේ ව්‍යවස්ථාවෙන්ම විධායක බලතල හිමි එතුමන්ද මෙම කාර්යට මැදිහත් නොවේ නම් ඉන් පසු බිහිවන කිසිදු නායකයෙකු අතින් මෙය සිදුවේ යැයි මම විශ්වාස නොකරමි.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2012 June-Aug

මාතර Today හෙවත් සිහිනයක් නොවූ සිහිනය

373890_355081061176153_1844768284_nමාතර Today යනු මාගේ හෝ මාතර Today කණ්ඩායමේ සිහිනයක් යැයි පැවසුවහොත් එය සැබවින්ම අසත්‍යයකි. ජීවිතය පිළිබඳව සිහින රාශියක් දුටු මා කෙදිනකවත් මාතරට පත්තරයක් එළි දැක්වීමට සිහින මැවූයේ නැත. එය සිදු වූයේ අහම්බෙනි.

මීට වසර දෙකකට පමණ ඉහත දී මාගේ ව්‍යාපාර පිළිබඳව මාතර පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා වැනි සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු විය. එවැනි බොහෝ ප්‍රචාරණ ක්‍රම නාගරික නීති මගින්ද වළක්වා තිබූ අතර නාගරික ජනතාව අතර වෙළඳ පණිවුඩය ඒකාකාරීව පැතිරවීමට ඒවා සමත් වූයේ ද නැත.

බොහෝ විට ප්‍රචාරණ මාධ්‍යක් ලෙස අත් පත්‍රිකා මුද්‍රණය කළ හෙයින් ඒවා මුද්‍රණය කිරීමට යන පිරිවැය පිළිබඳව ඒ අවධිය වන විට මම හොඳින් දැනුවත් වී සිටියෙමි. අත් පත්‍රිකා සඳහා නිසි පාරිභෝගික අවධානයක් යොමු නොවන බව අත්දැකීමෙන් දත් මා කල්පනා කළේ එම පණිවුඩය පිටු කිහිපයක කුඩා පුවත්පතක් ලෙස ලබා දිය හැකි නම් වඩාත් පිළිගැනීමකට ලක් විය හැකි බවයි. සැබවින්ම මාගේ ආයතනය මාසිකව වියදම් කළ සම්පූර්ණ ප්‍රචාරණ පිරිවැය එකතු කර බැලූ විට ඊට දෙගුණයකට ආසන්න මුද්‍රණ පිරිවැයකින් පිටු කිහිපයක කුඩා පුවත් පතක් මුද්‍රණය කර බෙදා හැරීමේ හැකියාවක් ඇති බව මට වැටහිණි.

මා මෙන්ම ප්‍රචාරණය සඳහා විශාල පිරිවැයක් දරණ වෙනත් ආයතන කිහිපයක් එකට එකතු වී මෙම කාර්යයට අත ගැසුවහොත් මේ කාර්ය පහසුවෙන්ම කර ගත හැකි විය යුතුය. නමුත් වෙළඳ දැන්වීම් පමණක් අඩංගු ව්‍යාපාර ආයතන කිහිපයක් විසින් පවත්වාගෙන යන දැන්වීම් පුවත්පතක් වරක් බලා විසි කරනවා හැර වෙනත් ප්‍රයෝජනයක් එහි පාඨකයන්ට නොමැති බව මට තේරුම් ගියේය. ඕනෑම වෙළඳ භාණ්ඩයක් මිලදී ගැනීමට පාරිභොගිකයා පෙළඹවීමට නම් එම භාණ්ඩය හෝ සේවාව පිළිබඳව පණිවිඩය වඩාත් විශ්වාසනීය මට්ටමින් පාඨකයාට ලබා දිය යුතුය. අපගේ මුද්‍රිත පණිවුඩය මාසයක් හෝ දෙකක් අපගේ පාරිභොගිකයාගේ නිවසෙහි ආලින්දයේ ටීපෝප මත තැබිය හැකි නම් එයට වඩා වටිනා දෙයක් වෙළඳ ව්‍යාපාරයකට තිබිය නොහැකිය.

ජාතික පුවත්පත් වැනි ප්‍රධාන පෙලේ පුවත් පත් වල වෙළඳ දැන්වීම් පල කිරීමෙන් ව්‍යාපාරිකයන් බලාපොරොත්තු වන්නේද මෙයයි. සති අන්ත පුවත් පතක වෙළඳ දැන්වීමක් පල කල විට අඩුම වශයෙන් ඊළඟ සතිය වන තෙක් වත් එම වෙළඳ දැන්වීම පාරිභොගිකයාගේ නිවසෙහි ආලින්දයේ රැඳෙන බව විශ්වාසය. එම පුවත් පත් වල වටිනා ලිපි කියවන සෑම පාඨකයෙකුටම එම ලිපි අතර ඇති දැන්වීම් ඇස ගැසීම වැළක්විය නොහැකිය. එවැනි පුවත් පතක දැන්වීමක් පළ කිරීමෙන්ම එම ව්‍යාපාර ආයතන තම පාරිභෝගිකයාට තම ව්‍යාපාරයේ උසස් මට්ටම පිළිබඳ ඉඟියක් ද වක්‍රව ලබා දෙයි. නමුත් ප්‍රාදේශීයව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ට එවැනි පුවත් පත් වල දැන්වීම් පළ කිරීම සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කිරීම ප්‍රායෝගික නැත.

උදාහරණයක් ලෙස මාතර නගරය හෝ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන ව්‍යාපාර සිදු කරන ආයත වලට අවශ්‍ය වන්නේ තම වෙළඳ පණිවුඩය ඉතාමත් හොඳින් ඒකාකාරීව මාතර ජනතාවට පමණක් ලබා දීමය. නමුත් මීට වසරකට ඉහත කාලය වන තුරුත් මාතර තබා වෙන කුමන දිස්ත්‍රික්කයක වත් එවැනි ව්‍යාපාර සඳහා ප්‍රචාරණයක් ලබා දිය හැකි කිසිදු සාර්ථක මුද්‍රිත මාධ්‍යයක් තිබුණේ නැත.

මේ අනුව මට වැටහී ගියේ ව්‍යාපාර දැන්වීම් පමණක් අඩංගු කුඩා පුවත් පතක් පළ කරනවාට වඩා වැඩි අලෙවිකරණ ලාභයක්, වටිනා ලිපි ඇතුලත් පුවත්පවක් තුළින් ලබා ගත හැකි බවයි. මාගේ ඉලක්කය වූයේ මාතර ජනතාව වන බැවින් ඔවුන් ආදරය කළ හැකි ඔවුන්ගේම පුවත් පතක් ලබා දිය හැකි නම් එම ක්‍රියාවලිය සාර්ථක වනු ඇත යන්නයි. මාතර Today සඳහා පළමු සංකල්පය පැණියේ එතැන් සිටය.

මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගත් පුවත් පතක් කරනවා යනු ඉතා පහසු කාර්යක් නොවන බව මට වැටහිණි.  විශේෂයෙන්ම අමතර ලිපි ඇතුලත් කිරීමට නම් වැඩිපුර පිටු සංඛ්‍යාවක් පුවත් පතට ඇතුල් කළ යුතුය. පාඨකයාගේ ආලින්දයේ ටීපෝව මත එම පුවත් පත රඳවා තිබීමට අවශ්‍ය නම් ඉතාමත් ඉහළ මුද්‍රණ තත්වයකින් මුද්‍රණය කළ යුතුය. අනෙක් අතට මෙවැනි අළුත් මාධ්‍යයක් කොතරම් උසස් වුවත් එකවර මිලදී ගැනීමට පාඨකයා නොපෙළඹිය හැකිය. මේ නිසා මුද්‍රණ පිරිවැය බලාපොරොත්තු වූවාට වඩා ඉහළ ගිය අතර බෙදා හැරීමට තීරණය වූයේ ද නොමිලේමය.

මාතර Today පුවත් පතින් කිසිඳු ආර්ථික ලාභයක් ලැබීමේ අරමුණක් මා තුළ නොවීය. ඒ තුළින් මා හට අවශ්‍ය වූයේ මාගේ මාසික ප්‍රචාරණ පිරිවැයද ඇතුලත් කර ඉතිරි පිරිවැය අනෙකුත් සහෝදර ව්‍යාපාර වලින් පියවා ගැනීමය. මේ නිසා වෙළඳ දැන්වීම් සඳහා සාධරණ අගයක් තීරණය කර ඒ සඳහා අනෙකුත් ව්‍යාපාර ආයතන වලට ආරධනා කළෙමි. මෙතෙක් එවැනි ප්‍රාදේශීය පුවත් පත් සාර්ථක වී නොතිබුණද බොහෝ ව්‍යාපාරිකයන් මාතර Today කණ්ඩායමට ප්‍රචාරණ අනුග්‍රාහකත්වයක් ලබා දීමට මැලි වූයේ නැත.

වසරක් පුරා නොමිලේ බෙදා දුන් මාතර Today සඟරාව එලෙස නොමිලේම මාතර ජනතාවගේ අතට පත් වූයේ එයට අනුග්‍රාහකත්වය ලබා දුන් ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙනි. එබැවින් වසරක් පුරා මාතර Today සඟරාව රැගෙන ඒමේ ගෞරවයෙන් විශාල කොටසක් ඔවුන්ට අනිවාර්යෙන්ම හිමිවිය යුතුය.

මාතර Today සංකල්පය මා තුළ ජනිත වුවත් එය ආරම්භ කිරීමට තවත් වසරක පමණ කාලයක් ගත විය. නමුත් එම කාල සීමාව තුළ මුද්‍රණ කලාව පිළිබඳව හැදෑරීමටත් මාතර Today සාර්ථක කර ගැනීමට අවශ්‍ය කණ්ඩායම ඒකරාශී කිරීමටත් හැකිවිය. වැදගත්ම කරුණ නම් මාතර Today කණ්ඩායමට සම්බන්ධ වූ බොහෝ දෙනා පළමු පුවත් පත සැකසීමට ආසන්න වන තෙක්ම ඔවුන් සැබවින්ම සේවයට බඳවා ගනු ලැබුවේ එම සඟරාව වෙනුවෙන් බව නොදැන සිටීමයි.

අද වන විට මාතර Today පුවත් පත මුද්‍රණය කිරීමට ලබා දෙන මෙන් මාතර මුද්‍රණාල රාශියක් මා වෙත නිරන්තරව ඉල්ලීම් සිදු කරයි. අද ඔවුන් එය සලකන්නේ වාණිජ අරමුනකටත් වඩා ඔවුන් වෙත ලැබෙන ගෞරවයක් ලෙසටය. නමුත් පළමු මාතර Today පුවත් පත මුද්‍රණය කර දෙන ලෙස මාතර බොහෝ මුද්‍රණාල වලට ඉල්ලීම් කළ මුත් ඔවුන් කිසිවෙකු ඒ පිළිබඳ කිසිදු තැකීමක් කළේ නැත. එයට ප්‍රධානම හේතුව වූයේ මෙවැනි පුවත් පතක් පළ කල නොහැකි බවට ඔවුන් තුළ පැවති විශ්වාසයයි. අවසානයේදී පළමු මාතර Today පුවත් පත මුද්‍රණය කර ගැනීමට සිදු වූයේ කොළඹ සුපිරි මුද්‍රණාලයකිනි. මුද්‍රණ කලාව පිළිබඳ විශාල අත්දැකීමක් නොතිබුණු මට ඒ පිළිබඳ කියා දෙමින් කිසිදු ආර්ථික ලාභයක් අපේක්ෂා නොකරමින් ඊට සහාය දුන් රෝහිත විජේවර්ධන මහතා සහ එම මුද්‍රණාලයේ කාර්ය මණ්ඩලයට මා තවමත් ණයගැතිය.

මාතර Today ආරම්භ කිරීම සැබවින්ම මා හට තනිව කිසි දිනෙක සිදු කර ගත නොහැකි කාර්යයකි. එය සාර්ථක වීම පිටුපස සැබවින්ම සිටියේ මාතර Today කණ්ඩායමයි. ඔවූහු බොහෝ විට මාතර Today පිළිබඳ මටත් වඩා විශ්වාසයකින් පසු වූහ. වසරක් පුරා රැගෙන ඒමට සැබෑම සවිය වූයේ එයමය.

මාතර Today සැබවින්ම සිහිනයක් වූයේ ඒ පිළිබඳ විශ්වාස නොකළ පුද්ගලයන්ට පමණි. එය මටත් මාතර Today කණ්ඩායමටත් සිහිනයක් නොවූ නමුත් වසරක් පුරා පැමිණි ගමන් මග දෙස නැවත හැරී බලන විට එය සැබවින්ම සැබෑවූ සුන්දර සිහිනයක් වැනිය.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2011 Aug-Sep

දෙවන දශකය

403921_355110907839835_1117063612_n2011 වසරට පා තබන මෙම සුභ මොහොතේ මාතර Today පස්වෙනි කලාපයෙහි කතුවැකිය සටහන් කිරීමට ලැබීමට භාග්‍යයක් ලෙස මම සලකමි. 21 වැනි සියවස ආරම්භ වූ 2001 වර්ෂය අපට තවමත් දැනෙන්නේ අද ඊයේ වාගේ දශකයක් යනු සැබවින්ම දිගු කාලයක් වුවද 2011 විවර කරන්නේද 21 වැනි සියවසේ දෙවන දශකයයි. ගෙවුනු දශකය තුළ මුළු රටම මෙන්ම මාතර නගරයද බෙහෙවින් වෙනස්වීම් වලට ලක්විය. සංවර්ධනය අතින් මාතර ඇතුළු ශ්‍රී ලංකාවේම විශාල දියුණුවක් ඇතිවී ඇති නමුත් මාගේ පුද්ගලික විශ්වාසය නම් ශාපලත් යුද්ධය නිමා වීම පමණක් වුවද ගෙවුණු දශකය තුළ නොමැකෙන සටහනක් තැබීමට ප්‍රමාණවත් බවය. අතිගරු ජනාධිපති තුමන් ඇතුළු රටේ නායකයින්ගේ අරමුණු 2011 න් ආරම්භ වන දශකය රටෙහි සංවර්ධනයෙහි දශකය බවට පත් කිරීමයි. එය මාතර Today අපගේ විශ්වාසය හා බලාපොරොත්තුවයි. මෙහිදී මානව සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය යන අංශ දෙකම එක ලෙස පවත්වාගෙන යා යුතු අතර රටෙහි සංවර්ධනයට මෙම දෙඅංශයෙන්ම සිදුවන සංවර්ධනය අතිශයින් වැදගත්ය.

හිටපු ඉන්දියානු ජනාධිපති ආචාර්ය අබ්දුල් කාලාම් මහතා විසින් පවසා ඇති පරිදි “මහජනතාවගේ වගකීම ඡන්දය භාවිතා කිරීමෙන් අවසන් වන්නේ නැත.” යන්නයි. එය සැබවින්ම සත්‍යයකි. තමන්ගේ කුණු ටික පාරට දමා නගර සභාවට එය ඉවත් නොකිරීම සම්බන්ධව දොස් පැවසීම, ප්‍රවාහන පද්ධතියේ අඩු පාඩු වලට රජයට දොස් පැවසීම වැනි දේට වඩා මහජනතාවට ඉටු කළ හැකි වගකීම් බොහෝය. ලොව දියුණු සෑම රටක්ම ඔප්පු කොට පෙන්වා ඇත්තේ ඔවුන්ගේ දියුණුවට ප්‍රධානතම සාධකය වූයේ පැවති රජයට වඩා මහජනතාවගේ කැපවීම බවයි. ඒ සෑම රටකම ජනතාව තමාට හැකි පමණින් රටේ සංවර්ධනයට දායක වී ඇත.

කතුවරයාගේ පුද්ගලික විශ්වාසය නම් රටෙහි පුද්ගලයන් තනි තනිව සතා සාධාරණ හා නීත්‍යානුකූලව තමාගේ ආර්ථික දියුණුව උදෙසා කැප වෙයි නම් රටෙහි ආර්ථිකයද ඉබේම දියුණුව කරා ළඟා වෙන බවයි. එසේ නොමැතිව කොතරම් අධිවේගී මාර්ග ඉදි කලද, ගොඩනැගිලි ප්‍රවාහන පහසුක්ම රජය විසින් සපයා දුන්නද සමස්ථ රටෙහි සංවර්ධනයක්, ඉන් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බවයි. එය යම් දිනෙක කෙළවර වන්නේ රට තව තවත් විදේශයන්ට ණය කරුවෙක් බවට පත් කරවමිනි.

සැබවින්ම කළ යුත්තේ රජය විසින් ලබා දෙන පහසුකම් ආයුධ ලෙස භාවිතා කර තමාගේ පුද්ගලික ආර්ථික සටන මෙහෙය වීමයි. මේ සඳහා පක්ෂ විපක්ෂ භේදයක් අවශ්‍ය නොවන්නේ එම ආර්ථික සටන ජයග්‍රහණය කළ හොත් එහි ප්‍රතිලාභ ලැබෙන්නේ තමාටම වන හෙයිනි.

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කාලාම් මහතා පවසන පරිදි මහජනතාවට අඩුම වශයෙන් පාරේ වැටී ඇති කොළ කෑල්ලක් හෝ නිවැරදිව කුණු භාජනයකට දැමිය හැකි නම් එය ඔහු විසින් රටට කරනා සේවයකි. තැන තැන කෙළ නොගැසීම, කහ ඉරෙන් පාර පැනීම වැනි කුඩා නීති වලට ඔවුන්ට අනුකූල විය හැකි නම් ඔවුන් රටෙහි නිවැරදි පුරවැසියන්ය. එවන් කුඩා පිළිවෙත් වුවද රැකිය නොහැකි ඡන්දය පමණක් භාවිතා කර රටෙහි සංවර්ධනය අපේක්ෂා කරන පුරවැසියා සැබවින්ම අමනයෙකුට වඩා දේශද්‍රෝහියෙකි.

අපට මෙම කාර්යය අඩුම වශයෙන් මාතරින් හෝ ආරම්භ කළ හැකි නම් ඉතා අගනේය. ඉතිහාසයේ කෙදිනක වුවද රටෙහි වෙනස් කම් ආරම්භ වූයේ දකුණින්ය. එබැවින් රටෙහි නියම සංවර්ධන විප්ලවයද අපට දකුණේ මාතරින්ම ආර්ම්භ කළ හැකිය.

ක්‍රමවත් විනයගරුක සමාජයක් ලෙස මාතර නගරය පුද්ගලිකවම දියුණු කිරීමට පාඨක ඔබ සැමට ඉතා පහසුවෙන් දායක විය හැකිය. උසස් පෙළ අසමත් වූ තරුණයන් විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබීම ගැන ශාප කරනවා වෙනුවට කිසියම් වූ රැකියාවක් හෝ කර්මාන්තයක් කිරීමට උගත යුතුය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රජයෙන් රැකියා ලබා නොදීම ගැන තමාට නොමිලේ ඉගැන්වූ රජයට ශාප නොකර පුද්ගලික අංශය තමා වෙත පැමිණ තමාට රැකියා වලට ආරාධනා කරන මට්ටමට තම නිපුණතා, පොත පතට පමණක් සීමා නොවී වර්ධනය කර ගත යුතුය. තමාගේ වගකීම රජයට භාර දී රජයේ රැකියාවකින් සදහටම යැපීමට බලාපොරොත්තු වන කාලකණ්නි අදහස මාතර තරුණ පරපුරෙන් ඉවත් කර ගත හැකි නම් අපට 2021 තෙවන දශකය ආරම්භයේ දී මාතර ගැන කතා කිරීමට සිදුවන්නේ දියුණු, බුද්ධිමත්, ධනවත් තරුණ පරපුරක් සිටින ලොව දියුණුම නගරයක් ලෙසය.

2011 වසර ධෛර්යවන්ත මාතර පුරවැසියන් දියුණුවට පත් වන සුභ නව වසරක් වේවා යැයි “මාතර Today” අපි ප්‍රාර්ථනා කරමු.

Editorial: Nirman Kodithuwakku – Matara Today 2011 Jan – Mar