යාත්‍රා

ජීවිතය විඳින්න..

sinhalapedia nirmanඅපි අපේ ජීවිතය හරි හැටි විඳිනවද? එම ප්‍රශ්ණය මට හරිහැටි තේරුම් ගියේ වරක් මා හමුවූ විදේශිකයෙකු මා සමඟ පැවසූ අදහස් නිසයි. ශ්‍රී ලංකාවේ මිනිසුන් කොයි වගේ දැයි ඔහුගෙන් විමසුව විට ඔහු මා වෙත ලබා දුන්නේ මා බලාපොරොත්තු නොවූ පිළිතුරක්.

“මට මේ රටේ මිනිස්සු ගැන හරි දුකයි. ඒගොල්ලන්ගේ ජීවිත වල සතුටක් පේන්න නැහැ. හැමෝම මොකක් හරි ප්‍රශ්ණයක් නිසා දුක්වෙනවා. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ ඔහේ ජීවත් වෙන්නම් වාලේ. හැබැයි, අපේ රටේ තත්වය මීට ගොඩක් වෙනස්. අපේ මිනිස්සුන්ට සල්ලි තියෙන අය නැති අය කියල භේදයක් නැහැ. හැමෝම පුළුවන් තරම් සතුටින් ඉන්නවා. ප්‍රශ්න ගැන හිත හිත ඉන්නේ නැතුව මොන වැඩේ තිබුනත්. මේ වගේ ලස්සන රටක ජීවත් වෙලත් මට හරි පුදුමයි ඇයි මේ රටේ මිනිස්සුන්ට ටිකක් සතුටින් ජීවත් වෙන්න බැරි කියලා.”

ඔහුගේ මෙම ප්‍රකාශය ගැන මම කල්පනා කළේ මම හොඳට දන්න පවුල් කිහිපයක් උදාහරණ ලෙස ගෙන හිතලා. ඇත්තටම අපේ රටේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවද? රස්සාවක් කරලා හම්බ කරලා තමාට නඩත්තු කළ නොහැකි ලොකු ගෙයක් හදන්න බැංකු වලට ණය වෙලා, සමාජයේ අනිත් අය සමඟ පෑහෙන්න ලොකු වාහනයක් ගන්නත් ණය වෙලා, අප රටේ බහුතරයක් ජීවිත ගැටගහ ගන්න කොතරම් දුක් විඳිනවද? දරුවෙක් උපන් දවසෙ ඉඳලම හොඳම පාසලකට දාගන්න, ඊට පසුව ශිෂ්‍යත්වය, O/L, A/L විභාගය හොඳටම Pass කරවල දරුවව දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරවන්න අම්මලා තාත්තලා තමන්ගේ ජීවිත සමඟ පමණක් නෙමෙයි, තම ළමයින්ගේ ජීවිත සමඟත් කොතරම් සෙල්ලම් කරනවාද? ජීවිතය කියන්නේ ලොකු රස්සාවක් කරලා හොඳට හම්බ කරලා කසාද බැඳලා ළමයි ලොකු මහත් කරලා ඒ ළමයින්ද ජීවිතයේ තමන් ගිය මාර්ගයේම යැවීම නෙමෙයි – තමා සහ තමා ආදරය කරන අය සමඟ තම තමන් සතුටු වන දේ කරල ජීවත් වන සෑම තත්පරයක්ම සතුටින් ජීවත්වීම කියන එක තේරුම් අරන් ඉන්නේ කීයෙන් කීදෙනාද?

මේ කෙටි ජීවිත කාලය තුල අපිට අපි ආස දේවල් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කොතරම් කුඩා කාලයක්ද? කියවන්න, ගී ගයන්න, නටන්න, ඇවිදින්න, ගහ කොළ යටට වී සොභාදහම සමඟ තනි වෙන්න වෙලාවක් නැති ජීවිත හරියට තම ඇස් මනා පිට ඇති ක්ෂේම භූමි නොදැක නොසංසිදෙන පිපාසයකින් කාන්තරයේ ඉබාගාතේ යන ඔටුවන් වාගේ නොවේද?

සමාජයට පේන්න බොරු ජීවිත ගෙවනවා වෙනුවට තමාට ඕන විදියට නිදහසේ නිරෝගීව සැහැල්ලුවෙන් ජීවතය විඳින්න. ජීවිතය සැබවින්ම ජීවත් වන්න.

Editorial: Nirman Kodithuwakku – “Yathraa” Magazine 2016 Jan – Jun

ජීවිතය ජය ගන්න

nirman kodithuwakku sinhalapediaජීවිතය කියන්නෙ දීර්ඝ ගමනක්. අපි හැමෝම මේ ගමන යන්නේ දහසකුත් ආශාවන්, බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙන. නමුත් ජීවිතය සඳහා ගමන් කළ යුතු මාර්ගය විවිධ අභියෝග, බාධක, කම්කටොළු වලින් පිරී පවතිනවා. මේවා අතරින් ආර්ථික ප්‍රශ්න, සාමාජීය ප්‍රශ්න සහ පවුල් ප්‍රශ්න ප්‍රධානයි.

මේ නිසා ගොඩක් අය කියන්න පුරුදු වෙලා ඉන්නවා මේ ජීවිතය කිසිම තේරුමක් නැති අසුන්දර දෙයක් කියලා. නමුත් එය අසත්‍යක්. ඔබේ ජීවිතය සුන්දර ද, අසුන්දර ද, යන බව තීරණය වන්නේ ඔබ ජීවිතය දෙස බලන ආකාරයටයි.

නිසල මුහුදකට කවදාවත් දක්ෂ නාවිකයෙක් බිහි කරන්නට බැහැ. මුහුද වඩාත් රළු වන තරමටම තමයි එම සයුර තරණය කරන නාවිකයා වඩාත් පරිණත වන්නේ. ජීවිතයත් මේ මහ සයුර වගේම තමයි. බාධක, සහ කම්කටොළු වැඩිවෙන තරමටම තමයි අපිත් පරිණත වෙන්නේ.

ජීවිතයේ ඔබට මුහුණදීමට ඇති ගැටළු සහ බාධක සියල්ලක්ම අභියෝග කරගන්න. ඒවාට මුහුණ දෙමින් ඉදිරියට යන ඔබට ආපසු හැරී බලන විට ඔබ ගැනම ආඩම්බර හිතේවි. ඔබේ ජීවිතය ගොඩක් සුන්දර බව ඔබටම දැනේවි, හොඳින් වැටහේවී.

ජීවිතය නමැති, චන්ඩ මාරුත වලින් පිරි රළු සයුරට සිනා සෙමින් මුහුණ දෙමින් සාර්ථකව තරණය කරන්නට මෙම සඟරාව ඔබේ පවුලේ සැමට යාත්‍රාවක් වේවායැයි මම ඉමහත් විශ්වාසයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.

Editorial: Nirman Kodithuwakku – “Yathraa” Magazine 2015 Jun – Dec